පළඟැටි වත


පළගැටි වත


වරකාපොල නගරය පසුකොට ඇදුනු මෝටර් රථය මඳ වේලාවකින්ම කුරුණෑගල පාරට හරවනු ලැබීය. ඒ තුළ ගමන් ගන්නා දෙදෙනෙකි. සුපුන් මෝටර් රථයේ හිමිකරු මෙන්ම මේ ගමනේ රියැදුරු ය. තිස්ස මේ ගමනේ යෝජකයා ය. කාපට් දැමූ පාර දිගේ රථය පැදවෙන්නේ තරමක වේගයකිනි. සුපුන් නිහ`ඩවම රථය පදවයි. මේ දිනවල වෙළඳ පොලේ ඇති නවීනතම මෝටර් රථයක් වූ එය සුපුන් මිල දී ගත්තේ ගිය මාසයේ ය. ඉතා සුව පහසු ආසන වලින් සමන්විත එය තුළ ගමන් කරද්දී කිසිදු වෙහෙසක් ගතට නොදැනේ. කොළඹින් පිටත්ව හෝරා ගණනක් ගත වී ඇතත් තාමත් ඇඟට දැනෙන්නේ මේ දැන් රථයට ගොඩ වී වාඩිවූවා සේ හැඟීමකි. සුවපහසු ලෙස වේගයෙන් ගමන් කළත් මග දෙපස ගැන මනා අවබෝධයෙන් යා යුතුව ඇත. ඒ අනතුරු වළක්වා ගැනීමට නොව ඔවුනගේ ගමනාන්තය වෙත යන පළමු ගමන හෙයින් ප‍්‍රධාන පාරෙන් හරවන තැනක් හෝ නොදන්නා හෙයිනි. 
‘‘ අලව්වට යන්න කලින් කිවුවා නේද සර් ’’
‘‘ ඔව්.. වරකාපොලෙන් හරවලා වැඩි දුරක් නෑ කිව්වා ’’
‘‘ අපිට කියාපු පාර පහුවෙයිද කියලා සර් ටිකක් අවධානයෙන් යන්නකො  ’’
‘‘ හරි.. ඔයත් ටිකක් හෙමින් යං.. ’’
සුපුන් කලකට පෙර තිස්ස විසින් පවත්වාගෙන යන පුහුණු පාඨමාලාවක සිසුවකු ලෙස උගෙනුම ලැබූ හෙයින් එකල ‘‘ සර්’’ යනුවෙන් තිස්ස ඇමතූ ඔහු පුරුද්දකට මෙන් තවමත් ඔහුට අමතන්නේ ඒ ආකාරයෙන්මය. 
‘‘ පිස්සු ගමනක් ආවෙ කියලත් වෙලාවකට හිතෙනවා සුපුන් ’’
‘‘ අපි දෙන්නට පිස්සු නෑ ... මේ පිස්සු ගමනක් ආව මනුස්සයෙක්ව බලන්නනෙ අපි දෙන්න යන්නෙ සර් ’’
තිස්සගේ මුවගට නැගුනු සිනහව දුටුවෙක් උන්නා නම් එය නම් කරන්නේ අනුකම්පා සහගත සිනහවක් ලෙසද නැතිනම් උපහාසාත්මක සිනහවක් ලෙසද යන්න හරිහැටි තෝරා ගත හැකිව තිබුනි. සැබැවින්ම තිස්සගේ සිතෙහි අනුකම්පාවක් ද , උපහාසයක් ද එකට මුසු වී ඇත. 
ඔහුගේ පාංශුදේහධාරී දැවැන්ත පෙනුම තිස්සගේ සිහියට නැගෙයි. කන්ද උඩ ඇති ගල් තලාවේ සිට බැස යන හිරු දෙස නොසෙල්වී බලා සිටි ඔහුගේ දෑස යළි සිහිපත් කර ගැනීමට තිස්ස සමත්විය . 
‘‘ මට නං දැන් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ තිස්ස මහත්තයා. මේ සේරම කැමති එකෙකුට ගන්න කියලා ජපානෙට යන්න හිතෙනවා වෙලාවකට .. ෂිහ්..’’
බැස යන හිරුගෙන් රත් පැහැ ගැන්වුනු බටහිර අහස දෙස බලාගෙනම ඔහු පවසයි.
‘‘ ජපානෙට වීසා ගන්න එක ඔය හිතන තරං ලේසි පාසු නෑ ’’
ඒ තිස්සගේ පිළිතුරයි. තිස්ස එසේ කීවත් ඔහුගේ මුහුණේ බලාපොරොත්තු කඩ වන හැඟීමක් ඇති නොවේ. ඔහු සෙමෙන් තිස්ස සිටි දෙසට හිස හරවයි. 
‘‘ ජපානෙ ඉන්නවා මගෙ හොඳ යාළුවෙක්..  ඕසකා වල.. මිනිහා කියලා තියෙන්නෙ  ඕනෙ කරන වෙලාව කියන්න වීසා එකත් එවන්නං.. ඉන්න ගේකුත් ලෑස්ති කරලා දෙන්නං.. කියලා ’’
‘‘ එහෙනං ඉතිං ප‍්‍රශ්නයක් නෑ.. හැබැයි යනවා නං මට කෝල් එකක් දීලා යන්න.. ගිහිල්ලා එහෙ නොම්බරෙත් එවන්න ’’ 
තිස්ස පැවසූයේ මේ තීරණය වෙනස් කිරීමට තැත් දැරීම පලක් නොවන බව තීරණය කර ගනිමිනි . ඔහු තරමක සැහැල්ලූ බවකට පත් වූ මුහුණකින් යළි  ආපසු යන්නට හැරෙයි. තිස්ස ද ඔහු පසුපස අඩි ඔසවයි . හදිසි තිරිංග පහරකින් තිස්සගේ දැහැන බිඳ වැටේ.
‘‘ රජෙක් .. සිංහයෙක් වගේ ඉන්න තිබිච්ච මිනිහෙකුට සිද්ද වුනු අකරතැබ්බෙ බලන්නකො සුපුන්.. ’’
‘‘ කියලා වැඩක් නෑ සර් .. ’’
‘‘ ආං අර තියෙන්නෙ අජන්තා හෝටලය .. එතනින් නේද වමට හරවන්න කිව්වෙ .. ’’
‘‘ ඔවු සර් .. හරි ඔන්න එහෙනං මං හැරෙව්වා ’’
අතුරු පාර දිගේ සුපුන්ගේ මෝටර් රථය සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙයි. පෙර දිනයේ කියූ මග සළකුණු අනුව නං මේ වන විට නිවසට ළංව සිටිය යුතුය. 
‘‘ ඔන්න ඔය කඬේ ළගින් පොඞ්ඩක් අයින් කරලා නවත්තන්න සුපුන්.. මං කෝල් එකක් ගහන්නං.. ’’
සුපුන් ප‍්‍රවේශමෙන් පාර අයිනට කර වාහනය නවත්වයි.
‘‘ ආ.. හලෝ .. දැං අපි කිව්ව පාර දිගේ ඇවිල්ලා තියෙන්නෙ.. ’’
‘‘ අපි යි කිව්වෙ කවුද තව ඉන්නෙ.. ’’ අනෙක් කොණින් ඇසෙයි.
‘‘ සුපුන් එක්ක ආවෙ.. ’’
‘‘ අප්පට සිරි මෑනුත් එනවද.. දැන් කොතනද ඉන්නෙ.. ’’
‘‘ පාරෙ ටික දුරක් එනකොට තියෙන පොඩි සිල්ලර කඬේ ඉස්සරහා ’’
එහෙනං දැන් ළගටම ඇවිල්ලා .. ඔතන ඉඳන් බලනකොට ගෙවල් දෙකකට එහායින් දකුණු පැත්තෙ තියෙන කළු පාට යකඩ ගේට්ටුව.. ඉස්සරහට එන්න ..මං ගේට්ටුව ගාවට එන්නං.. ’’
මොහොතකින් සුපුන්ගේ රථය කළු ගේට්ටුව ඉදිරියේය. එක් වරම ගේට්ටු පියනක් ඇරෙයි.  දෙදෙනාගේම දෑස් විශ්මයට පත් කරමින් ලා කොල පැහැති ටී ෂර්ටයකින් හා සළුසල සරමකින් සැරසුනු නායක හාමුදුරුවෝ ගේට්ටුව ඉදිරියට පැමිණෙයි. 
‘‘ අප්පට සිරි .. සර් අපි දැන් මොන විදියටද කතා කරන්නෙ.. ’’
විශ්මයට පත් සුපුන් ගේ දෑස එක එල්ලේම ඔහු දෙසට යොමු වී ඇත. වායු සමනය කරගෙන පැමිණි නිසා රථයේ වීදුරු උස්සා ඇති බැවින් අපේ වදන් කිසිවක් එළියට නොඇසේ. 
‘‘ අපි ඔබතුමා කියලා කතා කරමු. ’’
‘‘ හාමුදුරුවනේ කියලා කියවෙයිද මන්දා.. ’’
‘‘ මොනා කරන්නද.. එහෙම උනොත් සොරි කියමු ’’
සුපුන් සිනාසෙමින්ම මෝටර් රථයේ වීදුරුව පහත් කරයි.
‘‘ ආයුබොවන්ඩ.. ආයුබොවන්ඩ.. එන්න .. එන්න.. ඇතුලටම .. තිස්ස මහත්තයා කාර් එක මිදුලටම ගම්මු.. ’’
ගේට්ටු පියන් දෙක හැර දැමූ උපාලි මහත්තයා අඩියට දෙකට මිදුලට ද ගොස් අවසන්ය. තිස්ස ද ඔහු පසුපසම පා ගමනින් ගිය අතර සුපුන් රථය පදවාගෙන  දෙදෙනා පසුපසින් මිදුල දක්වා ආවේය.
‘‘ මේ... ඇහුනද..... මෙහාට ඩිංගක් එන්න .. මේ තිස්ස මහත්තයලා ආවා.. ’’ ’’
ඉස්සර ගම කතාවක මෙන් ඔහු ගෙතුළට හ`ඩ නගද්දී තාරුණ්‍යයෙන් යන්තම් ඈත් වුණු කාන්තාවක සුන්දර සිනහා මුහුණකින් ඔවුන් දෙදෙනා වෙත පැමිණ ආයුබෝවන් කීවාය.  උපාලි මහත්තයාගේ ඇරැුයුමෙන් ගෙතුළ සාලයේ සෝපා කට්ටලයේ සුව පහසු පුටුවක දෙදෙනා අසුන් ගැනීමෙන් පසු උපාලි මහත්තයා ‘‘ඉතිං.. ඉතිං..’’ යැයි කියමින් ඔවුන් ඉදිරියේ ඊළග අසුනට බර විය. 
‘‘ අපෙන් අහලා වැඩක් තියෙනවයැ.. ඉතිං .. කොහොමද ජීවිතේ කියලා ඔබතුමා ම කියන්නකො ’’
‘‘ ජීවිතේ නේද....   ජීවිතේ මල්.. ’’ 
එසේ කියමින් උපාලි මහත්තයා හක.. හක.. ගා සිනාසෙන්නට විය. සිනාවේ අරුත ලෙස තිස්සට දැනුනේ ජීවිතේ ඇත්තටම ‘මල් ‘ නැති බවකි.  සුපුන් තවමත් නිහ`ඩය. එක්කෝ නිහ`ඩව සිටී. එසේත් නැතිනම් කතා කර ගැනීමට නොහැකිව හිරවී සිටී. ඒවායින් කුමක් වුවත් ඔහු හා කතා කිරීමේ වැඩි උවමනාවත්, වැඩි අයිතියත් ඇත්තේ තිස්සට බැවින් ඔහු  කතාව යළි අරඹයි .
‘‘ මොකද්ද දෙයියනේ මේ කරගත්තේ ’’ 
ඔහු දෙසට හිස පාත් කොට යන්තම් ඇසෙන හ`ඩකින් ඇසූ තිස්සගේ වදන් වල තිබුණේ කම්පාවක්ද කෝපයක්ද යන්න දැනෙන්නට ඇත්තේ ඔහුට පමණි . ඔහු හිස තිස්ස දෙසට පහත් කොට යමක් මුමුනනු ඇසින.
‘‘ ඒවා පස්සෙ හෙමිහිට කතා කරමු.. ’’
නිවසේ සාලයේ තැන තැන විසිරුණු කුඩා සෙල්ලම් කාර් කිහිපයත්, කැඞී ගිය සෙල්ලම් බස් රථයත්, බැට් මෑන් බෝනික්කාත් , තවත් තැන තැන විසිරුණු විවිධ සෙල්ලම් බඩු කිහිපයත් , වයස අවුරුදු තුනක පමණ පිරිමි දරුවකු නිවසේ ආධිපත්‍යය ගෙන ඇති බව සැණෙකින් සනාථ කරයි.. කුස්සියේ තේ කෝප්ප හා හැඳි ගැටෙන හ`ඩ සිහිපත් කළේ තවත් මොහොතකින් තේ පැන් සංග‍්‍රහයක් සූදානම් වන බවකි.  
‘‘ ඉතින් ... ඉතින් .. මොනාද ගමේ තොරතුරු.. ’’
‘‘ තොරතුරු ..?   ගම ගිනි අරන් තියෙන්නෙ .. හැමෝම වගේ කියන්නෙ .. නොකියා ගිය එක වැරදියි කියලා .. උන් හුඟක් අය හිතාගෙන ඉන්නෙ මං සේරම දැනගෙන උන්නය.. උදව් කළාය කියලා. සොපි නැන්දා වගේ අයගෙ කඩප්පුලි කතා තමා ඉවසන්න බැරි... ’’
තිස්ස ඉදිරිපත් කරන්නේ බරපතල චෝදනා පත‍්‍රයකි.
‘‘ ඔය එක එකීලගෙ කඩප්පුලි කතා මං ගණන් ගන්නෙ නෑ තිස්ස මහත්තයා... මං කළේ ඒ වෙලාවෙ මට කරන්න තිබුණුු හොඳම දේ... ’’
මුහුණේ දැඩි බවක් ආරූඨ කරගත් උපාලි මහත්තයා එසේ පවසමින්  අනතුරුව තිස්සගේ මුහුණ දෙස එක එල්ලේ තියුණු බැල්මක් හෙලයි.
‘‘ තිස්ස මහත්තයා හොඳටම දන්නවා මං පන්සලට එද්දි පන්සල තිබුනු හැටි.. පැත්තක් වහල බිමටම කඩා වැටුනු ආවාසෙයි ... වහලෙන් වතුර වැක්කෙරෙන බණ මඩුවයි ... බදාම ගැලවිලා බිමට වැටෙන්න ඔන්න මෙන්න වගේ තිබ්බ චෛත්‍යය යි.. කැලෑවට ගිය පන්සල් වත්තයි.. මගේ හැකියාවන්ගෙන් හරි හම්බ කරාපු හැම රුපියලක්ම තියෙන්නෙ අද පන්සලේ.. කාමර හතරක අලූත්ම ආවාසෙ .. රට උළු හෙවිල්ලපු, ටයිල් දාපු සද්දන්ත බණ මඩුව, මුළු බදාමෙම ගලවලා අලූතෙන්ම කපරාරු කරලා තීන්ත ගාපු සුදු පාටෙන් දිළිහෙන චයිත්තෙ ... එහෙම පිටින්ම සුද්ද පවිත්තර කරලා .. පඩිපෙළ බැඳලා.. අලූත් කරාපු පන්සල් වත්ත .... මං මේ සේරම ගමට ඉතුරු කරලා මිනිස්සු පූජා කරාපු සිවුරත් පුටුවක් උඩ දාලායි ආවෙ.. මං හිස් අතින් ආවෙ.. මොනාද තිස්ස මහත්තයා ගමේ මිනිස්සන්ට මං ගැන දොස් කියන්න තියෙන්නෙ..  ’’
උපාලි මහත්තයාගේ දෑස් තුළ යාන්තමින් හෝ කඳුළු පටලයක් ඇතැදැයි  හොඳින් බැලූවද. එවැන්නක ඡුායාවකුදු දැක ගන්නට තිස්ස ට නොහැකි විය.  ඇත්තේ හැමදාම ඔහු දුටු එඩිතර, තේජාන්විත, සිංහ දෑසයි.
‘‘ තේ ඩිංගක් බීලා හිටියනං ... ’’
ගේ ඇතුළෙන් ලැබුණුු කැඳවීමෙන් අපි සියල්ලෝම කෑම මේසය වෙත ගියෙමු. වෙලාවේ හැටියට කදිම තේ මේසයකි. 
‘‘ කෝ.. තිස්ස මහත්තයා ඔය කේක් කෑල්ලක් දා ගන්න .. සුපුන් කෙසෙල් ගෙඩියක් .. මේවා හොඳම කෝලිකුට්ටු..’’
හාස්‍යය පිරි උපහාසයක් මුසු හඬින් උපාලි මහත්තයා කියයි.
‘‘ අම්මා ... ඔය පළතුරු පිඟාන පිළිගන්වන්න නායක හාමුදුරුවන්ට.. ’’
වාර්ෂිකව තිස්සගේ නිවසේ පැවැත්වෙක සාංඝික දානයට වැඩම කළ වැඩම කළ ස්වාමීන් වහන්සේලා අතුරෙන් නායක හාමුදුරුවන් ට සැලකූ ආකාරය ඔහුට සිහි ගැන්වෙයි. 
‘‘  ඕවා හොඳම කෝලිකුට්ටු ..’’
නායක හාමුදුරුවන් අසළ බිම දණින් වාඩිගත් තමා  කී අයුරු තිස්සගේ මතකයට එන්නේ නිතැතිනි . 
‘‘ කෝ ඉතිං .. දෙන්නම කෑවෙ නෑනෙ .. කෝ ... මේ... ඒ..යි....  ඔය තේ ටික ගෙනාවනං .. ’’
මොහොතකින් ඇය තේ කෝප්ප දෙක ටේ‍්‍ර එකක තබාගෙන ඔවුන් ඉදිරියේ පෙනී සිටී. ඇත්තෙන්ම ඇය භද්‍ර යෞවනය පසු කළ පැහැපත්, රූමත් ළඳකි. රුවෙනුත්, වයසෙනුත් ඇය ඔහුට කදිමට ගැලපෙනු ඇත. 
‘‘ මහත්තයටත් තේ එකක් ගේන්නද... ’’
‘‘ ඇයි යකෝ .. මාර කතාවක්නෙ .. එතකොට තිස්ස මහත්තයලා විතරයි තේ බොන්නෙ .. මාව කැපිලම ගියා ද.. ’’
කඳ, බඩ සොළොවා හක.. හක.. ගා සිනාසෙමින් උපාලි මහත්තයා කියයි.
‘‘ නෑ ... අනේ ... විකා... ර.. ’’
සුරතල් වදනින් කියමින් ඇය යළි මුළුතැන් ගෙය දෙසට ගොස් තේ මග් එකක් ඔහුට රැුගෙන එයි. 
‘‘ මග් පුරුද්ද තාම එහෙමමයි නේද .. ’’
‘‘ අනේ ඔව් තිස්ස මහත්තයා .. තේ වේල් තුනටම මේ මග් එක පිරෙන්න දෙන්න  ඕනෙ ... පරණ පුරුදුනෙ .. ’’
ඇය සිනාසෙමින් ආපසු යයි. පන්සලේදීත් ඔහු තේ වැළඳුවේ මග් එකකිනි. පරණ පුරුදු අතහැර ගන්නට තවමත් නොහැකිව තිබීම පුදුමයකි. සුපුන් මේ සියල්ල දෙස විශ්මිතව බලා සිටී. 
‘‘ තේ බීලා ඉවරනං අපි යං උඩ ට.. ’’
නිවසේ උඩු මහලේ අපූරු සඳළුතලය කි. එය වහලයකින් ආවරණය වන නිසා  ඕනෑම වේලාවක සුව පහසු ලෙස විවේකීව ගත කළ හැක. එහි සුව පහසු පුටු තුනක අසුන් ගතිමු.
‘‘ ඇත්තටම .. මේ තීරණේට හේතුව උනේ මොකද්ද .. ඔබතුමාට සිංහයෙක් වගේ ඉන්න තිබුනා නෙව..’’
සුපුන් නිහ`ඩතාව බිඳී. 
‘‘ ඔව් .. මට සිංහයෙක් වාගෙ ඉන්න තිබ්බා .. හැබැයි සිංහයගෙ දෙපා හයි හත්තිය නැති වුනාම ඒකා ඇද වැටෙනවා .. කවුරුත් නෑ නැගිට්ටවන්න .. එදාට සිංහයො මැරිලා යන්නෙ හිවල්ලූ වගේ ..’’
තද සුසුමක් හෙලමින් උපාලි මහත්තයා දිග කතාවකට මුල පුරන බවක් පෙනේ. තිස්ස , සුපුන් සමග එදෙස බලා සිටී. 
‘‘ මේක හදිසි තීරණයක් නෙවෙයි තිස්ස මහත්තයා ... අපේ කන්දට පාමුල පුහාඹුවැල්ලෙ පන්සලේ ලොකු හාමුදුරුවො අපවත් වෙනකොට අවුරුදු අනූ දෙකයි. මහණ වෙලා තියෙන්නෙ අවුරුදු දොළහෙ දි.. අවුරුදු අසූවක් ගමේ දායකයන්ට යුතුකම් කළේ නැද්ද .. කොයි පිරිතට ද .. බණට ද.. බෑ කියලා තියෙන්නෙ. ? එළිවෙනකල් පිරිතක් අහවර කරලා ආවත් .. පහුවෙනිදා පාංශකූලෙට ඔය කවුරුත් බෑ කියලා තියෙනව ද... තමුන් මහණ කරගත්තු පොඩි හාමුදුරුවො ඉලන්දාරි වෙලා අළුත් ලෝකෙ හැටියට හැදෙද්දි තමා පුහාඹුවැල්ලෙ ලොකු හාමුදුරුවො අසනීප වෙලා.. එකතැං වෙන්නෙ.. තිස්ස මහත්තයා මතක් කරලා කියන්න මාස කීයද ඔය පොඩි ඇත්තා ලොකු හාමුදුරුවන් ව පන්සලේ බලා ගත්තෙ කියලා.  මාස හතරයි .. දායකයන්ටත් බොරු කරලා එක්කාසු කරාන ගිහිං ඉස්පිරිතාලෙ නැවැත්තුවා. ටික දවසක් හාමුදුරුවොයි .. දායකයොයි.. බලන්න ගියා. උන්දැ අපවත් වෙන්නෙත් නෑ ... සනීප වෙන්නෙත් නෑ.. බලන්න එන යන දායකයොත් එන්න එන්නම අඩු වුනා. මං දවසක් ලෙඩෙක් බලන්න ඉස්පිරිතාලෙ ගිය වෙලාවෙ උන්නාන්සෙ ඉන්නවා නේද කියලා මතක් වෙලා බලන්න ගියා. වාට්ටුවෙ කොනක ඇඳක දාලා තිබ්බෙ. කවුද වයසක ගෑණු කෙනෙක් ළගට වෙලා උන්නා. බලනකොට ඒ නංගි. නංගිට ත් අසූ ගාණක්. ලොකු හාමුදුරුවන්ට හරියට කතා කරන්නවත් බෑ.
‘‘ අනේ හාමුදුරුවනේ .. මාත් නෑබඩ ඉඳං එන්නෙ.. හැමදාම එන්න මට හයි හත්තිය නෑ.. මං එද්දි දානෙ ටිකක් හදාගෙන ඇවිත් කවනවා.. ඒ ටික කැමැත්තෙන් කනවා. ඉස්පිරිතාලෙ කෑම කන්න පිරිය නෑලූ. ගමේ දායකයො සුමාන ගානකින් ආවෙ නෑ කියලා ගිය සතියෙ කිව්වා. පොඩි හාමුදුරුවො පැත්ත පළාතක එන්නෙ නෑ. උන්නාන්සෙ බලාන ඉන්නෙ අපේ හාමුදුරුවො අපවත් වෙනකල් ලූ.. නායක කම ගන්න.. අනේ හාමුදුරුවනේ .. මොනා උනත් මං එක බඩවැල කඩාන ආව නංගි නෙ.. මට වාවන්නෙ නෑ.. හාමුදුරුවනේ.. 
එහෙම කියාගෙන ඒ වයසක මනුස්සයා අ`ඩා වැටුණා . ඒක අහං උන්නු මගෙත් පන්සලේ නායක කමයි .. මල්වත්තෙන් දුන්නු නායක කමයි දෙකම පොළොවට කඩා වැටුන වගේ දැනුනා තිස්ස මහත්තයා.. ’’
උපාලි මහත්තයාගේ හ`ඩ තියුණු ය. දෑස තීරණාත්මක ය. මේ තිස්ස අසා සිටින්නේ සමස්ත සංඝ පරපුරේ ම ජීවිත අවසානය පිළිබඳ කතාවක් ද නැතිනම් අපේ ම රටේ ඈත පිටිසර ගමක විහාරාධිපතින් වහන්සේ නමකගේ පමණක් ජීවිත ඛෙදවාචකයදැ යි නොතේරේ. කොළඹ හෝ වෙනත් නාගරික පෙදෙසක පන්සලක හෝ අසපුවක නායක හාමුදුරුවෝ රෝගී ව එක් තැන් වූ විට කුලී සාත්තු සේවා ආයතනයක සේවාව ලැබෙන සැටි , ඉන්ටර්කූලර් පැජරෝ ඉසුසු ටෲපර් තඩි වාහනවලින් බැස ගත් තඩි දායිකාවන් ඉදුණුු මිදි පොකුරු, පෝෂ්‍යදායී දොඩම් යුෂ, විටමින් රැුගෙන ලොකු හාමුදුරුවන් බැහැ දකින්නට එන සැටි, බැරිම තැන නවලෝකෙට හෝ සිංගප්පූරුවට හෝ ඇමරිකාවට යවා ප‍්‍රතිකාර කොට බිල් ගෙවෙන සැටි, අවසානයේ අපවත් වූ විට ජයරත්තගේ සුපිරි සැලකුම් මැද රාජ රාජමහාමාත්‍යාදීන්ගේ සහභාගිත්වයෙන් ආදාහන පූජෝත්සවයක් පැවැත්වෙන සැටි .. සිනමා පටයක් සේ මනසේ දිව යයි.
‘‘ ඔය කියන්නෙ සතර පෙර නිමිති දැක්කා කියල ද..’’
‘‘ මොනාද තිස්ස මහත්තයා ... මං ඔය මහා විහාරෙ ඉල්ලං ආවෙ නෑ නෙව. හිටපු ලොකු හාමුදුරුවරු සේරෝම එක දිගටම වාගෙ අපවත් වෙච්ච හන්දා ගමේ මිනිස්සු නෙව ගිහින් මාව එක්කාසු කොරාන ආවෙ. මගෙ නායක හාමුදුරුවො මහ පන්සලේ මහණ උනාට තරුණ වයසෙදිම දාලා ගිහිං ඈත වෙනම පන්සලක් හදා ගත්තෙ අපවත් වෙනකල් මහ පන්සල දිහෑ ඇස් ඇරලා බලන්නෙ නෑ කියලා . හාමුදුරුවො මාව හදා ගත්තෙ ඒ පන්සල බාර දීලා දෙයියනේ කියලා ඇහැ පියා ගන්න. කොහෙද මාව අකැමැත්තෙන්ම කැන්දං ආවා නෙව.
පොඩි හාමුදුරුවන් පන්සල බාර ගෙන වසරක් ඇතුළත පන්සලේ වැඩ සිටි අවසන් වැඩිහිටි හාමුදුරුවන් අසනීපව එකතැන් වූ අයුරුත් ටික දිනකින්ම සිවුරේම මළ පහ කරගන්නා තත්වයට ඇද වැටුණු අයුරුත් දායකයන්ගේ සහය කෙමෙන් කෙමෙන් අඩුවී අවසානයේ අළුත් පොඩි හාමුදුරුවන් මළ මුත‍්‍ර පිරුණු සිවුරු අස් කොට සෝදා නහවා අකුරැුස්සේ හාමුදුරුවන් ට සත්කාර කළ අයුරුත් මට සිහිපත් වන්නට විය. මේ සියල්ලම සතර පෙර නිමිති වන්නට ඇත.
‘‘ අනේ මන්දා සිද්ධාර්ත කුමාරයට නං සතර පෙර නිමිති දැකලා ගිහි ගේ නෙව කලකිරුනෙ.. බලනකොට හැම දෙයක්ම සිද්ද වෙලා තියෙන්නෙ මහණ ගෙය කළකිරෙන්න..
 .. කරුමේ.. කරුමේ..’’ 
උපාලි මහත්තයා කරුමේ.. කරුමේ.. කියා කීවේ තරමක හිනාවක් ද මුවට නගමිනි. 
‘‘ එතකොට මේ ජීවිතේ තෝරගත්තෙ.. ’’
තිස්ස අසයි .
‘‘ කරුමේ.. කරුමේ..  ’’
ඔහු එසේ නැවතත් කියමින් මහ හයියෙන් හක.. හක .. ගාමින් සිනාවෙන්නට පටන් ගනී. 
ඇය සැබැවින්ම පියකරුය. ඇත් දළ පැහැති සමේ පැහැය ඇගේ පෙනුම තරමක සරාගී පෙනුමක් ඇති කරයි. දිගැස කරකවා බලා ඇය ඔමරි කතා කියන්නට ඇත. ඇගේ සිරුරේ පහස ඔහුට උවමනා වන්නට ඇත. හොර රහසේ විස්කි රසය විඳිමින් ගැහැනුන් සිය ගණනක් සමග රමණයේ යෙදෙමින් චීවරයට මුවා වී තවමත් මහණ කමේ රැුකෙමින් අදටත් රාජ රාජමහාමාත්‍යාදීන්ගෙන් වැඳුම් පිදුම් ලබන ඇතැම් චීවරධාරීන් ට වඩා උපාලි මහත්තයා ගෙන ඇති පියවර සාධාරණයැයි වරෙක සිතේ.
 ‘‘ හැබැයි ඉතිං අර ජපන් ගමන කර ගත්තනං හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද ..’’
සුපුන් විමසන්නේ දිනෙක ඔහු තිස්ස මහත්තයා සමග ගිය විටෙක ජපන් ගමනක් ගැන පැවැසූ දෙය සිහිපත් වීමෙන් විය යුතුය.
‘‘ ඒ හැම දෙයක් ම වෙනස් වුනා නෙ.. බාගෙදා මං එහෙ ගියානං  ... ඒක හුඟක් වෙනස් ගමනක් වෙන්න තිබුනා..’’
ඇත්තටම උපාලි මහත්තයා නව ගිහි ජීවිතය ගැන ද කළකිරී ඉන්නවාදැයි සැකයක් ඇති වෙයි. නමුත් ඒ හැම දෙයක් ගැනම හාරා අවුස්සා බලන්නට එය සුදුසු අවස්ථාවක් නොවේ. ඔහුගෙන් තාවකාලිකව සමු ගන්නට තිස්ස තීරණය කරයි . 
‘‘ එහෙනං අපි දෙන්නා ගිහිං එන්නං.. ’’
‘‘ මේ පිස්සු කෙළින්න හදනවා .. කොහෙ යන්නද .. ආං අරෙහෙ කෑම හදනවා .. කෑම ඩිංගක් කාලා යන්න ’’
‘‘ අද බෑ සර් නේද ... මට තව ගමනකුත් යන්න තියෙනවා..’’
‘‘ අයියෝ .. මං හිතුවෙම කෑම ටිකකුත් කාලා ම යයි කියලා ... එහෙනං යං පල්ලෙහාට .. නැත්තං කෑම ලෑස්ති කරයි..’’
තිදෙනාම ඉක්මණනින්ම පහත මාලයට පැමිණ බිරිඳ ට පිටත් වන බව කීවද , කෑම කන්නට රැුඳෙන්නේ නැතිව ඉක්මණින් ආපසු යාම ගැන ඇයගේ ද වූයේ නොසතුටකි.
‘‘ මං හිතුවා ආපු පළවෙනි දවසෙ හින්දා තිස්ස මහත්තයල ට කෑම ටිකක් හදන්න  ඕනෙයි කියලා. එහෙනං ආයෙ දවසක කෑම ටිකක් කන්න බලාගෙන  නෝනත් එක්කලාම එන්න. ’’
‘‘ හරි.. හරි.. එයත් මේ නෝනාව දකින්නත් ආසයි කිව්වා .. එයාවත් එක්කගෙන ම එන්නං.. දැන් ඉතිං ඉන්න තැන දන්නවනෙ..’’
‘‘ මේ... ඉන්න තැන පත්තරේ එහෙම දාන්නෙ නෑ  ඕං.. ’’
එය නියෝගයක් නොව සිනාමුසුව පැවසූ ලෙන්ගතු ඉල්ලීම කි. උපාලි මහත්තයාගේ අළුත් ගිහි ජීවිතය ට කරදරයක් වන ලෙසින් තිස්ස මහත්තයා කටයුතු නොකරන බව ඔහු දනී. සුපුන් ද සමග වාහනය දෙසට පිය මනින තිස්ස ගේ මනස වියවුල් රැුසකින් අවුල් වී ඇති සේය.
‘‘ මේ ජීවිතේ ට ඇතුළු වුනේ ඇයි කියලා ඇහුවාම ලොකු මහත්තයා කිවුවෙ.. කරුමේ.. කරුමේ.. කියලා.. ඒ මොකෝ.. ’’
වාහනයට නගින්නට සූදානම් ව තිස්ස සිනාසෙමින් ඇයගෙන් ඇසීය . ඇයගේ මුහුණ පෙම්බර, දඟකාර පෙනුමකට වෙනස් වී උපාලි මහත්තයාගේ පිට දෙසින් දකුණු උරහිස්සේ එල්ලෙමින් ඇය ඔහුගේ මුහුණ වෙතට එබී බැලූවාය.
‘‘ කරුමේ .. කරුමේ.. කිවුවා .. කවුද මෙයා ද කිවුවෙ... ආපෝ.. ඒ ගැන ඉතිං මොකට කියනව ද.. ’’
සුරතලෙන් ඇය ඔහුගේ පිටට සෙමින් පහරක් ගසයි. ඔහු ද ආදරයෙන් සිනහවක් ‘රඟපායි‘. තිස්ස වාහනයට ගොඩ වී සමු දෙනවාත් සමගම සුපුන් පැදවීම අරඹයි. 
‘‘ කරුමේ .. කරුමේ.. කිවුවා .. කවුද මෙයා ද කිවුවෙ... ආපෝ.. ඒ ගැන ඉතිං මොකට කියනව ද.. ’’
ඇගේ අවසන් පිළිතුරත් ඇය ඔහුගේ පිටෙහි එල්ලීගෙන හුරතල් වූ අයුරුත් තිස්ස ගේ සිත තුළ දෝකාර දෙයි. 
‘‘ ඔය කර ගහගෙන ඉන්නවාය කියන ගෑනිට ළමයා හම්බවෙලා තියෙන්න ඔන්න ඔහෙ ඈත ඉස්පිරිතාලෙක ලූ... ඉස්පිරිතාලෙ නවත්තලා තියෙන්නෙත් මේ උන්දැම තමා කියලයි ආරංචිය .. හහ්.. නංගියි කියලා කිවුව කියන්නෙ .. ළමයා හම්බවෙච්ච ගමන් උප්පැන්නෙ තාත්තගෙ නමට ‘උපාලි ‘ යි කියලා නමක් දුන්නලූ.. අනේ අම්මාපල් සිවුරකුත් දාගෙන නටලා තියෙන නාඩගමක මහත ... ’’

No comments:

Post a Comment