ගුවන් විදුලිය යනු කුමක්ද


ගුවන් විදුලිය යනු කුමක්ද

ගුවන්විදුලි හෝ රූපවාහිනී නිවේදකයෙකු වන්නට පෙර ගුවන්විදුලිය යනු කුමක්දැයි දැන ගැනීම වටී. ගුවන් විදුලි ඉතිහාසය හෝ අඩුම තරමින් ගුවන්විදුලි තරංගය යනු කුමක්ද යන්නවත් නොදැන රූපයෙන් හෝ කතාවෙන් ජනප්‍රිය නිවේදකයෙකු වීම තමාගේ වෘත්තියට නොගැලෙපේ. එබැවින් ගුවන්විදුලියේ ආරම්භය පිළිබදව සරලව යමක් ඉගෙන ගනිමු.

වසර 2500 කට පෙර මිසර ශිෂ්ඨාචාරයේ විදුලි බලය

විදුලි බලය සොයා ගැනීම ලොව විශ්මිත කරුණකි. ඒ අපට ය. එහෙත් වසර 2000 කට වඩා ඈත අතීතයේ විදුලි බලය යොදමින් විවිධ කටයුතු කර ඇතැයි ඔබට සිතන්නටවත් හැකිද?. එහෙත් එය සැබෑවකි. 1936 දී බැග්ඩෑඩ් නුවර ආසන්නයේ දුම්රිය මාර්ගයක් තනමින් සිටි කම්කරු පිරිසකට එහි පොළොව කැණීමේ දී අපූරු භාණ්ඩයක් හමුවිය. සියල්ලන්වම පුදුමයට පත් කළ එය වූයේ කුඩා මැටි ඇසුරුමක සකසන ලද විදුලි කෝෂයක් හෙවත් බැටරියකි. එය වසර 2000 ක් පමණ පැරණි බව කාල

මිසර ශිෂ්ඨාචාරයේ සිට ආ විදුලි කෝෂය

නිර්ණ විද්‍යාඥයෝ සොයා ගත්හ. එය මිසරයේ අවසන් අධිරාජයාගේ සමයේ තැනූවකි. කුඩා මැටි බදුනකින් තැනුන එය තුළ කුඩා තඹ සිලින්ඩරයක් තුළ යකඩ කූරක් තිබුනු අතර, එය වටා මැටි බදුන විනාකිරි වැනි ද්‍රවයකින් පුරවා තිබින. එයින් වෝල්ට් 1.1 ක් හෝ 2 ක් නිපැදවෙන ලදැයි විද්‍යාඥයෝ සොයා ගත්හ. අතීතය අදට වඩා තාක්ෂණයෙන් දියුණු ලොවක ගෙවී ඇති බව සනාථ වන නමුදු ඒ අපූර්ව අතීත තාක්ෂණය අතුරුදන් වූ ආකාරය අදටත් සොයා ගැනීමට නොහැකි ව ඇත.

විදුලි බලය යළි උපදී

නූතන ලෝකයේ සියල්ල නැවත නව සොයා ගැනීම් විය. 18 වන ශත වර්ෂයේ දී බොහෝ විද්‍යාඥයෝ නව සොයාගැනීම් ගැන දැඩි උනන්දුවකින් කටයුතු කළෝය. එකිනෙකා පරයා විවිධ නව සොයා ගැනීම් කළ පුද්ගලයන් අතර සිටි ‘ බෙන්ජමින් ෆ්රෑන්ක්ලින්’ නමැත්තා 1752 දී ජීවිතය ගැනද නොසළකා විදුලි කොටන වලාකුළක් අසලට යැවූ සරුංගලයකින් ඇදී ආ විදුලි සරයක් උපයෝගී කරගෙන සොයාගත් ‘ විද්‍යුතය’ ( Electricity ) ලොව අපූර්වතම සොයා ගැනීමක් වීමත් සමගම එම විදුලි බලය
යොදා ගනිමින් නව පර්යේෂණ ආරම්භ විය. මේ උත්සාහයන් හි ප්‍රතිපලයක් වූයේ 1800 දී ඉතාලි ජාතික ඇලෙසැන්ඩර් වෝල්ටා  (Alessandro Volta) විසින් විදුලි කෝෂය සොයා ගැනීමය. ඔහු විදුලි කෝෂයක් නිපදවීම පිළිබදව විවිධ පර්යේෂණ රැසක් සිදු කළ අතර 1800 මාර්තු 20 වන දින ලන්ඩනයේ රාජකීය සංගමයේ ප්‍රධානියා වන ජෝෂප් බෑන්ක්ස් වෙත ලිපියක් යොමු කරමින් තමා සොයා ගත් විදුලි කෝෂය ගැන දැනුම් දී ඇත. එයට නිල පිළිගැනීමක් ලැබුනු අතර ඔහුට කරනු ලබන ගෞරවයක් ලෙස විදුලිය මැනීමේ ඒකකයක් ලෙස ‘ වෝල්ට්’ යන්න භාවිතා කරන ලදී.

විදුලි කෝෂය සොයා ගැනීමෙන් පසු විද්‍යාඥයන් උත්සාහ කළේ විදුලි බලය උපයෝගී කර ගෙන කළ හැකි වෙනත් දේ පිළිබද යමක් සොයා ගැනීමටය . මේ උත්සාහයන් අතර 1820 දී ඕලන්ද ජාතික පර්යේශකයෙකු වූ ‘හෑන්ස් ක්‍රිස්ටියන් ඕස්ටඩ්’ (Hans Christian Ørsted ) විසින් තඹ කම්බි දරණයක් සමග කළ පර්යේෂණයක දී අහම්බයෙන් විද්‍යුත් චුම්බකත්වය දැක ගත් අතර එය වැඩි දියුණු කරමින් 1824 දී බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙකු වූ ‘විලියම් ස්ටර්ජන්’ (William Sturgeon ) විසින් අශ්ව ලාඩමක හැඩයට නවන ලද අවුන්ස 6 ක පමණ බරැති යකඩ කූරක් වටා තඹ වයර ඔතා එයට විදුලි බලය දීමෙන් ඇතිවූ චුම්බක බලයෙන් රාත්තල් 9 ක ලෝහ බරක් ඔසවා පෙන්වීය . විද්‍යුත් චුම්බකත්වයේ ඇති මෙම අසිරිමත් බලය දැක වහ වහා එය උපයෝගී කර තවත් නව නිර්මාණ තනන්නට විද්‍යාඥයෝ උත්සුක වූහ.

තඹ කම්බි දිගේ පණිවුඩ ගලා යයි

1804 සිට 1832 පමණ වන කාලය වන විට විවිධ පර්යේශකයන් විසින් තඹ කම්බි ඔස්සේ විවිධ ආකාරයේ පණිවුඩ යැවීමට යත්න දරා තිබුනි. ඇතැමෙකු වයර 34 ක් පමණ එකවර අමුණා එහි ඈත කෙලවර විවිධ අකුරු ආලෝකමත් වන බල්බ සවිකර සැතැපුම් ගණන් පණිවුඩ යැවීමේ ක්‍රම වේදයන් අත්හදා බලා තිබුනි. එහෙත් ඒවායේ නිශ්චිත හෝඩියක් හෝ සළකුණු ක්‍රමයක් නොතිබුනෙන් ඒවා ප්‍රායෝගිකව පැවැතුනේ නැත. 1837 දී පමණ සැමුවෙල් මෝර්ස් (Samuel Morse)  ඔහුගේ සහයක ඇල්ෆ්‍රඩ්  වේල් (Alfred Vail) සමග චුම්බක ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් ඉරි හා තිත් සංඥා යොදා ගෙන පණිවුඩ යවන ටෙලිග්‍රාෆ් (telegraph) ක්‍රමය සොයා ගත්තේය.  ඒ අනුව ඉරි හා තිත් සළකුණු සදහා ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 යොදා හෝඩියක් ද නිර්මාණය කරන ලදී. මෙම සංඥා ක්‍රමය සැමුවෙල් මෝර්ස් ට කරන ගවුරවයක් ලෙස “ මෝර්ස් සංඥා ක්‍රමය “ යැයි හදුන්වනු ලැබීය.


මෝර්ස් සංඥා ක්‍රමය සොයා ගත් සැමුවෙල් මෝර්ස්

මෙම ක්‍රමය මගින් පණිවුඩය යවනු ලැබුවේ තඹ කම්බි දෙකක් දිගේ වන අතර, දුරකතන කණු මෙන් පාරවල් අයිනේ සිටුවන ලද කණු දිගේ ඇද තිබූ එම කම්බි ඔස්සේ නගරයෙන් නගරයට පණිවුඩ යවන ලදී. පසුව මෝර්ස් ට ඒ ක්‍රමය මගින් සැතපුම් දහස් ගණන් දුරට ඉතා වේගයෙන්  විදුලි පණිවුඩ යැවිය හැකි විය. සියලු පණිවුඩ ලිඛිත ඒවාය ඒවා ලබාගන්නා අය ඉරි කැබලි හා තිත් ,  ඉංග්‍රීසි අකුරු වලට පරිවර්ථනය කරමින් නැවත ඉංග්‍රීසි බසින් පණිවුඩය ලියා කියවීය. පසුව අවශ්‍යතාව වැඩිවත් ම අත්ලාන්තික් සාගරය පත්ලෙන් ඉතා දිගු කේබල් ඇද ඇමෙරිකානු මහද්වීපය හා යුරෝපය යා කොට එම කේබල වයර මගින් මහාද්වීප දෙක අතරද මෙම ක්‍රමය මගින් පණිවුඩ යැවීම ආරම්භ කෙරිණි.

තවද, 1843 දී පමණ ඇලෙක්සැන්ඩර් (Alexander Bain) නම් තැනැත්තා ටෙලිග්‍රාෆ් කම්බි ඔස්සේ රූප යැවීමටද ක්‍රමයක් සොයා ගත්තේය. එය අද අපි ෆැක්ස් (fax) යන නමින් හදුන්වන්නෙමු . ඇත්තටම ෆැක්ස් යනු ෆැක්සිමිලි (facsimile) යන දිගු වචනය කෙටි කර සාදා ගත්තකි.

පණිවුඩ යැවීම තඹ කම්බියෙන් ගුවනට පිවිසෙයි.

ගමින් ගමට , නගරයෙන් නගරයට , රටින් රටට තඹ කම්බි දිගේ ඇදී ගිය පණිවුඩ කම්බියෙන් ගුවනට පිවිසුනු අයුරු විමසා බලමු. අප අවට වායු ගෝලය තුළ විදුලිය ආරෝපණය වූ තරංගයක් ගමන් කරවීමට හැකියාවක් ඇති බව 1864 දී පමණ ජේම්ස් මැක්ස්වෙල් (James Maxwell) නම් විද්‍යාඥයා සිද්ධාන්තයක් ලෙස ඉදිරිපත් කර තිබුනත් එය පරීක්ෂණ මගින් සනාථ කර නොතිබුනි. ඔහු ඉදිරිපත් කළ මතය වූයේ විද්‍යුත් චුම්භක තරංග යනුවෙන් දෙයක් වායු ගෝලයේ පැවතිය හැකි බවත්, ආලෝකය යනුද විද්‍යුත් චුම්භක තරංග විශේෂයක්  වනු බවත්ය. ගුවන් විදුලිය යන්න ආරම්භ වන්නේ මෙසේ ගුවන් විදුලි තරංග සොයා ගැනීමත් සමගයි.   මාස ගණනාවක පර්යේෂණ රැසක ප්‍රතිපලයක් ලෙස 1886 නොවැම්බර් මාසයේ දී ජර්මන් ජාතික විද්‍යාඥයෙකු වූ හෙන්රිච් රුඩොල්ෆ් හර්ට්ස් (Heinrich Rudolf Hertz)  විසින් අද අප රේඩියෝ තරංග (විද්‍යුත් චුම්භක තරංගලෙස හදුන්වන ඉතා වැදගත් සංසිද්ධිය විද්‍යාත්මකව සනාථ කරන ලදී.  හර්ට්ස්ට ගරු කිරීමක් ලෙසඅද අප තරංගවල සංඛ්‍යාතය මනින ජාත්‍යන්තර ඒකකය හදුන්වන්නේද හර්ට්ස් (Hz)ලෙසයිදැන් ඔබට අප ගුවන්විදුලි සේවා විකාශය කෙරෙන තරංගයන් පිළිබද හදුන්වා දීමේදී ඇසෙන කිලෝ හර්ට්ස්, මෙගා හර්ට්ස් අංක වල සැබෑ අදහස වැටහෙනවා ඇත.

හෙන්රිච් රුඩොල්ෆ් හර්ට්ස් (Heinrich Rudolf Hertz)

හර්ට්ස් විසින් රේඩියෝ තරංග සොයා ගනු ලැබුවත් ඔහුට එය  ප්‍රායෝගිකව යොදා ගන්නා උපකරණයක් නිර්මාණය කිරීමට නොහැකි විය.  රේඩියෝ තරංග උපයෝගි කරගෙන ප්‍රයෝජනවත් උපකරණයක් සාර්ථකව නිර්මාණය කළ පුද්ගලයා වන්නේ ඉතාලි ජාතික ගුග්ලියේමො මාර්කෝනි (Guglielmo Marconi ) වේඔහුට අවශ්‍යව තිබුණේ ඒ වන විට වයර් ඔස්සේ සන්නිවේදනය කළ ටෙලිග්‍රාෆ් සංඥා රැහැන් රහිතව ගුවන් විදුලි තරංග මගින් සන්නිවේදනය කිරීමටය පර්යේෂණ රැසක ප්‍රතිපලයක් ලෙස අවසානයේ දී මාර්කෝනි  1895 දී පමණ එය සාර්ථක කර ගැනීමට සමත් විය. කිසිදු රැහැනක ආධාරයක් නොමැතිව ගුවන්විදුලි සංඥාවක් යවා තවත් තැනක සිට එය ග්‍රහණය කර ගැනීමට ඔහු සමත් විය. ඒ අනුව ඔහුට ‘ගුවන් විදුලියේ පියා’ යන විරුදාවලිය ද හිමිවිය. එතෙක් තඹ කම්බි ඔස්සේ යවනු ලැබූ ටෙලිග්‍රාෆ් පණිවුඩ රැහැන් නොමැතිව ගුවනින් ගමන් කිරීමට හැකි වීමත් සමග එය  එය wireless telegraph හෝ radio telegraph ලෙස හදුන්වු ලැබීය. 1901 පමණ වන විට,  අත්ලාන්තික සාගරය හරහා කිලෝමීටර් දහස් ගණනක දුරකට ගුවන් විදුලි සංඥා යැවීමට මාර්කෝනි සමත් වියඑය එකල ඉතා විශාල ජයග්‍රහණයකි.

ඉතාලි ජාතික ගුග්ලියෙමො මාර්කෝනි (Guglielmo Marconi )

සංඥා වෙනුවට කටහඞ තඹ කම්බියෙන් ඇසෙයි

මේ වන විට විවිධ සංඥා ගුවනින් යවන්නට විද්‍යාඥයන් සමත් වී තිබුනත්, අඩු තරමින් තඹ කම්බියක් දිගේ කටහඞක් යැවීමට හැකියාවක් ලබා නොතිබුනි.මේ සදහා පර්යේශන කරමින් සිටි ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් (Alexander Graham Bel) විසින් 1876 මාර්තු 10 වන දින තමාට යාබද කාමරයක සිටි තම සහායක වරයා වන වොට්සන් නමැත්තාට ඔවුන් දෙදෙනා සිටි ස්ථාන දෙක අතර ඇද තිබූ වයර දෙකක් හා සවි කර තිබූ විද්‍යුත් උපකරණයක් යොදා ගනිමින් “ වොට්සන් මහත්මයා මෙහි එන්න. මට ඔබව අවශ්‍ය වී තිබෙනවා.. “ ("Mr. Watson--come here--I want to see you." )  යනුවෙන් කටහඞක් ඇසෙන්නට සළස්වා යැවූ පණිවුඩයකින් ටෙලිග්‍රාෆ් කේබල් හරහා මුල් වරට කටහඩ යැවීම ආරම්භ කර තිබුනි.  


ඇලෙක්සැන්ඩර් ගෙහැම් බෙල්

අද අප දුරකථනය (telephone) ලෙස හදුන්වන්නේ එයයි. එහෙත් එදා සොයා ගත් වයර දිගේ කතා කිරීමේ දුරකතන සේවාව අද මෙන් දියුණු දුරකතන සේවාවක් නොවේ සෑම දුරකතන උපකරණ දෙකක්ම වයර දෙකකින් සම්බන්ධ විය යුතුව තිබුනි. එබැවින් කටහඞ ද තඹ කම්බි රැහැන් නොමැතිව ගුවන ඔස්සේ යැවීමේ අවශ්‍යතාව පැන නැගී තිබුනි.

කටහඞ ගුවනට

පියවරෙන් පියවර තරංග තාක්ෂණය දියුණු වත්ම “ හර්ට්ස්ගේ තරංග” උපයෝගී කර ගෙන විද්‍යාඥයන් රැසක් විවිධ වූ සංඥා ඇතුළත් පණිවුඩ හුවමාරු සේවාවන් ගුවනින් යැවීමේ පර්යේෂණ නොකඩවාම සිදුවිය. ඒ අතුරෙන් ඇතැම් අය ගුවන්විදුලි සේවාව හෙවත් රේඩියෝ තාක්ෂණය හමුදාවේ ප්‍රයෝජනය සදහා විවිධ වූ  පණිවුඩ හුවමාරුවට යොදා ගන්නා ආකාරයට වැඩි දියුණු කර ගත්තා පමණක් නොව , ඒ වෙනුවෙන් මධ්‍යස්ථාන පිහිටුවා ගැනීම දක්වා දියුණු කරගෙන තිබුනි. ඒ සදහා එම පණිවුඩය දෙන හා ලබන පුද්ගලයන් දෙදෙනා වෙතම පණිවුඩය යැවීමට මෙන්ම යළි පණිවුඩ ලබා ගැනීමට ද අදාළ උපකරණ කට්ටල තබා ගත යුතු වූවාක් මෙන්ම එම පණිවුඩ ග්‍රහණය කර ගැනීමට හැකි වූයේ ඔවුන් දෙදෙනාට පමණි. දිගින් දිගටම කෙරුණු පර්යේශන වල ප්‍රතිපලයක් ලෙස එක් තැනකින් විසුරුවා හරින හඞ පණිවුඩ තවත් බොහෝ දෙනෙකුට එක වර සවන් දීමට හැකි වන උපකරණ නිර්මාණය වීමත් සමගම බොහෝ පිරිසකට එක වර පණිවුඩයක් සන්නිවේදනය කිරීම  (mass communication) හා රසාස්වාදය  (entertainment) සදහාද ගුවන් විදුලි තරංගය උපයෝගී කර ගැනීමට හැකි විය.  එහි ප්‍රතිපලය ලෙස ගුවන් විදුලි සේවා (radio broadcasting) බිහිවිය

ගුවන් විදුලි මාධ්‍යය ඔස්සේ හඞ හා සංගීත ඛණ්ඩ ප්‍රචාරය කරවීම ට බොහෝ දෙනා විසුරුවා හැරීමේ මධ්‍යස්ථාන ඇරඹූ නමුත් ඒවා ග්‍රහණය කර ගැනීමේ උපකරණ එතරම් නිපදවා නොතිබුනි. මේ අතර 1895 දී මාර්කෝනි විසින් පළමු රේඩියෝ සේවාව ක්‍රියාත්මක කළ අතර ඒවා ශ්‍රවනය කර ගැනීමේ යන්ත්‍ර නිපදවීම සදහා කර්මාන්ත ශාලාවක් ද ආරම්භ කරන ලදී. ආරම්භයේ එහි 60 දෙනෙකු පමණ සේවය කර ඇත. 1896 දී ගුවන්විදුලි මධ්‍යස්ථානය ක් පවත්වාගෙන යාමේ ‘ පේටන්ට් බලපත්‍රය’ බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන්  ලැබුන නමුත් මාර්කෝනි ගේ ගුවන් විදුලි සේවය  තාවකාලික, කෙටිකාලීනව සිදු කළ එකක් වියඑය පූර්ණ කාලීනව හෝ වාණිජ පරමාර්ථයෙන් සංවිධානාත්මකව ක්‍රියාත්මක කළ රේඩියෝවක් නොවීය. එහෙත් සංගීතය  විකාශනය කළ ලොව මුල්ම ගුවන් විදුලිය වන්නේ ද මාර්කෝනි ගේ මෙම ගුවන් විදුලිය යි.  1920 දී මාර්කෝනි ගේ ගුවන් විදුලි සමාගමට අයත් වූ ගුවන් විදුලි මධ්‍යස්ථාන රැසක් බ්‍රිතාන්‍ය යේ විවිධ නගර වල ආරම්භ කෙරින. වසර 2 කට පසු 1922 අගෝස්තු 18 වන දා ඇරඹි බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සමාගම (British Broadcasting Company - BBC ) ප්‍රථම වරට අනුග්‍රාහක ආයතන වල වැඩ සටහන් ප්‍රචාරය කරවීම සදහා අවස්ථාව ලබා දී ඇති අතර ඒ සදහා මුදල් අයකිරීමක් සිදු කර නොමැත. 1920 නොවැම්බර් 2 වන දා ප්‍රථම විකාශය ආරම්භ කළ KDKA රේඩියෝව  ඇමරිකාවේ ප්‍රථම වාණිජ ගුවන් විදුලිය ලෙස නම් කෙරේ.

ගුවන්විදුලි සංඥා මගින් ලොව එකිනෙකා කතාබහ අරඹති..

ගුවන්විදුලි සංඥා උපයෝගී කර ගෙන එක් තැනකිනි කටහඞ ගුවනට එක් කිරීමත්, තවත් තැනක සිට එම හඞ අසන්නට හැකි වීමත් නිසා මේ ක්‍රමය උපයෝගී කරගෙන ඇතැම්හු ඈත පළාත් වල සිටින තම හිතවතුන් සමග තොරතුරු කතා කිරීමට ද එම ක්‍රමය උපයෝගී කර ගත්හ. කෙමෙන් කෙමෙන් දිගු තරංග සංඛ්‍යතයන් උපයෝගී කර ගෙන එම හඞ පණිවුඩ ඇදී යන දුර වැඩි වීමෙන් රටින් රට ආධුනික පණිවුඩ හුවමාරු කරුවන් රැසක් බිහි විය.   මෙසේ කතාබහ කිරීම ලොව ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වීමෙන් ” ආධුනික ගුවන්විදුලි “  (Amateur radio ) ආයතන ඇරඹීමත් සමගය. ගුවන්විදුලි පණිවුඩ හුවමාරුව පිළිබදව උනන්දුවක් දැක්වූ ඇතැම් පුද්ගලයන් තම නිවෙස් වල සවිකරගත් ප්‍රබල විකාශන උපකරණ උපයෝගී කර ගනිමින් විවිධ තොරතුරු කතාබහ කිරීම ඇරඹීය. ඔවුනගේ නිවෙස්වල වහලයන් මත විශාල ප්‍රමාණයේ ඇන්ටෙනා වර්ග සවිකර තිබුනි.  ඔවුනගේ පණිවුඩ වෙනත් රටක , වෙනත් තැනක එලෙසම ඇන්ටෙනා සවිකරගෙන ශ්‍රවනය කරමින් සිටි තවත් කෙනෙකු විසින් ග්‍රහණය කර පිළිතුරු සංඥා නිකුත් කෙරින. කෙමෙන් ඔවුන් දෙදෙනා මිතුරුව දෙදෙනාගේ රටවල හෝ පළාත් වල තොරතුරු කතා කරන්නට පටන් ගති. ඔවුන් කතා කරමින් සිටින සංඛ්‍යාතයම තවත් එවැනිම ආධුනිකයෙකු තම යන්ත්‍රය සුසර කර ගත් විට ඔහුටද එම කටහඞ ඇසෙන්නට පටන් ගත් විට ඔවුන් දෙදෙනා , තිදෙනා බවට පත් විය.

( ආධුනික රේඩියෝ කරුවකුගේ ඇන්ටෙනාවක් )

මේ අයුරින් එකිනෙකා අතර ඇරඹුනු ආධුනික ගුවන් විදුලි සේවාව අවසානයේ මුළු ලොවම ආවරණය කර ගත් මිතුරු කණ්ඩායම් බවට පත්වීමත් සමගම ඕනෑම හදිසි පණිවුඩයක් සැනෙකින් ලොව ඕනෑම රටකට දැනුම් දීමේ හැකියාවන් ඔවුන් සතු විය. හදිසි ආපදාවක්, අවශ්‍යතාවක්, දැනුම් දීමක් වෙනත් රටක තවත් කෙනෙකුට දැනුම් දීම සදහා දැවැන්ත ආයතන පවා ආධුනික රේඩියෝ කරුවන්ගේ උපකාරය ඉල්ලා සිටින මට්ටමට මෙම ආධුනික රේඩියෝ කරුවෝ ලොව පුරා ජාල ගතව උන්හ. පසුව ඔවුහු ලෝකයේ සියල්ලන්ම එකතු කොට ආධුනික රේඩියෝ කරුවන්ගේ සංගමය ක් ද පිහිටුවීමට සමත් වූහ. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවැත් ශ්‍රී ලංකාවේ ද 1920 පමණ වන විට ඇමෙචර් රේඩියෝ උපයෝගී කර ගෙන ලොව අන් රටවල් හා සමග කතා බහ කළ පිරිසක් බිහි වී තිබුනි.


ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සේවා ඇරඹීම හෙවත් ලංකා ගුවන්විදුලියේ ඉතිහාසය

පළමු ලෝක යුද්ධයෙන් පසු, පළමු ලෝක යුද්ධයේදී සන්නිවේදන මෙවලමක් ලෙස මාර්කෝනි උපකරණය භාවිතා කිරීම නිසා යුද්ධයෙන් පසුවද පණිවුඩ සන්නිවේදනයට ගුවන්විදුලි මාධ්‍යය යොදා ගැනීම පිළිබඳ උනන්දුවක් ඇති විණි.   පළමු ලෝක යුද්ධයෙන් පසු යුරෝපය පුරා ගුවන්විදුලිය නැමති මාධ්‍යය ජනප්‍රිය වූ අතර යුරෝපානු සමාජයේ ඇතිවූ මෙම උනන්දුව යටත්විජිත රාජ්‍යයන් වල සේවය කළ විදේශිකයන් වෙත ද පැතිරීම හේතු කොට ගෙන ලංකාවේ ද ගුවන්විදුලි සේවාවක් බිහිකර ගැනීමේ උනන්දුවක් ඇති විය.

ලංකාවේ එකල තිබූ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට ඉංජිනේරුවකු ලෙස සේවය  සදහා එංගලන්තයේ සිට ගුවන් විදුලිය ගැන දැනුමක් ඇති එඩ්වඩ් හාපර් (Edward Harper) නම් ඉංජිනේරුවෙකු  පැමිණීම අපේ ගුවන් විදුලි ඉතිහාසය ඇරඹීමක් විය. අතහැර දමා ගොස් තිබූ ජර්මානු සබ්මැරීනයකින් ගලවා ගත් රේඩියෝ ට්‍රාන්ස්මීටර හා වෙනත් උපකරණ කිහිපයක් සවිකර ගෙන 1923 දී කොළඹ අවට පෙදෙසට ඇසෙන පරිදි කොළඹ කොටුවේ පිහිටා තිබූ විදුලි සංදේශ ගොඩනැගිල්ලේ  කුඩා කාමරයක සිට ගුවන්විදුලි විකාශයක් ආරම්භ කිරීමට ඔහු කටයුතු කළේය. එය කිවො ¼ ක ධාරිතාවක් එනම් විකාශන ශක්තියක් තිබූ රේඩියෝවක් විය. එය ශ්‍රවණය කළ හැකි වූයේ කොළඹ කොටුවේ සිට කෙටි දුරක සිටියවුන් ට පමණි.  ඊට ගුවන්විදුලි තාක්ෂණය ගැන ඉගෙනුමට කැමැත්තෙන් සිටි ලාංකික ඉංජිනේරුවන් වන ඒ. නඩරාසා, ඩබ්ලිව්. ඊ. ද සිල්වා, බී. විජේතිලක යන අය සහය වී ඇති අතර , එම රේඩියෝ චැනලය ‘ කොළඹ ගුවන් විදුලිය ‘ ( Colombo Radio ) යන නමින් පවත්වාගෙන ගොස් තිබේ . ග්‍රැමෆෝන් යන්ත්‍රයකින් තැටි වාදනය කොට  මයික් එකක් එය ළගින් තබා සංගීතය  විසුරුවා ඇත. ඒ අනුව එඩ්වඩ් හාපර් යනු ලංකාවේ ‘ගුවන් විදුලියේ පියා’ ලෙස හැදින්වේ.

හාපර් මහතාට අමතරව එකල සිටි වෙනත් ඉංග්‍රීසි නිළධාරීන් ද ස්වදේශික නිළධාරින් ද ගුවන්විදුලිය පිළිබඳ වෙන වෙනම පුද්ගලික මට්ටමේ පරීක්ෂණ පැවැත්වූහ. එහිදී ඔවුන් සිදුකළ පරීක්ෂණ වඩාත් සංවිධානාත්මකව සිදුකිරීම සඳහා එවකට සිටි ආධුනික ගුවන්විදුලි කරුවන් විසින් 1922 නොවැම්බර් 24 දින ආධුනික ගුවන්විදුලි සමාජය පිහිටුවා ගෙන ඇත. එනම් ගුවන්විදුලිය පිළිබඳ උනන්දුවක් දැක් වූ මෙම පිරිස එකතු වී මෙම ආධුනික ගුවන්විදුලි සමාජය හරහා ගුවන්විදුලිය පිළිබඳ පරීක්ෂණ වඩාත් සංවිධානාත්මක ආකාරයෙන් පැවැත්වූහ.

ලංකා ගුවන් විදුලියේ පියා - එඩ්වඩ් හාපර්

1924 පෙබරවාරි මාසයේ ආධුනික ගුවන්විදුලි සමාජය තරුණ ක්‍රිස්තියානි සංගම් ගොඩනැගිල්ලේ සන්ධ්‍යා දේව මෙහෙයෙන් පසුව පැවැති බටහිර සංගීත ප්‍රසංගය ඉතා සාර්ථකව ඔවුන් විසින් නිර්මාණය කරන ලද ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කළහ. එය හ් වන විට ගුවන්විදුලි යන්ත්‍ර හිමිව තිබූ පිරිසට ශ්‍රවණය විය. එයින් පසු ආධුනික ගුවන්විදුලි සමාජයේ තීරණය වූයේ ලංකාවේ ගුවන්විදුලි මාධ්‍යය පිළිබඳ තමන් ලද සාර්ථකත්වය මත මෙම මාධ්‍යය ජනතාවට හඳුන්වා දිය යුතු බවයි. ඒ අනුව ආධුනික ගුවන්විදුලි සමාජය 1924 පෙබරවාරි මාසය අග වන විට ගුවන්විදුලියක් ඇරඹීමට රජයේ අවසරය ඉල්ලා සිටියහ. එහෙත් රජය ආධුනික ගුවන්විදුලි සමාජයේ මෙම ඉල්ලීමට එකඟ වී නැත.

කෙසේ නමුත් මේ අතර එඩ්වඩ් හාපර් මහතා 1924-1925 අයවැය වර්ෂය වෙනුවෙන් ලංකා ගුවන්විදුලියට වෙන්කළ රු. 9,000/- ක මුදල එංගලන්තයට රැගෙන ගොස් කිලෝ වොට් එකක (1kw ) විකාශන ශක්තියක් ඇති ට්‍රාන්ස්මීටර් උපකරණයකුත් වෙනත් විදුලි ආම්පන්නත් මිලදී ගෙන ඒවා කොළඹ වැලිකඩ ප්‍රදේශයේ ස්ථානයක සවිකොට නව ගුවන්විදුලි විකාශනාගාරයක් ආරම්භ කරන ලදි. මෙම නව ගුවන්විදුලියේ විකාශනාගාරය 1925 දෙසැම්බර් 16 වන දින එවකට ආණ්ඩුකාරවරයා වූ සර් හියුම් ක්ලිපර්ඩ් විසින් විවෘත කරන ලදි. මෙය නිල වශයෙන් ලංකාවේ ගුවන්විදුලියේ ආරම්භයයි.

ඒ අනුව අපේ රටේ ගුවන් විදුලි සේවයක් නිල වශයෙන් පටන් ගත් දිනය ලෙස 1925 දෙසැම්බර් 16 දිනය ඉතිහාස ගත වේ. එම ගුවන් විදුලි සේවාව  එඩ්වඩ් හාපර් මහතා විසින් ආරම්භ කළ ‘ කොළඹ රේඩියෝව’( Colombo Radio) යි.  එය දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි සේවය ලෙසද ලොව පැරණිම ගුවන්විදුලි සේවා අතර දෙවැන්න ලෙසද ඉතිහාස ගත වී ඇත . කෙසේ වෙතත් 1924 ජුනි මස 27 වන දින එවකට ආණ්ඩුකාරයා වූ සර් විලියම් හෙන්රි ආණ්ඩුකාරවරයා එවකට පැවති ලංකා ඉංජිනේරු සංගමය අලලා කරන ලද කථාව ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කර ඇත. ලංකාවේ ප්‍රධාන පුරවැසියා ආණ්ඩුකාරතුමා වීම නිසා ලංකාවේ ගුවන්විදුලිය මෙදින ආරම්භ වූවා යැයි ද පිළිගැනේ.

1926 දී කොළඹ පිහිටි යුනිවර්සිටි කොලීජියේ නව ගුවන්විදුලි ප්‍රසංග මැදිරියක් ආරම්භ කරන ලදී. 1927 දී එම ප්‍රසංග මැදිරියත්, විදුලි සංදේශ කාර්යාලයේ සවිකොට තිබූ ගුවන්විදුලි මැදිරියත් ගෙන යාම සදහා කොළඹ ටොරින්ටන් භූමියේ පැවති පැරණි මානසික රෝහල් ගොඩනැඟිලි පරිශ්‍රය ගුවන්විදුලි විකාශන ස්ථානයක් ලෙස වෙනස් කොට අළුත්වැඩියා කර එය වෙත ගෙන යන ලදි. එහිදී වඩාත් ඉඩකඩ සහිතව ගුවන්විදුලිය පවත්වාගෙන යාමට හැකියාවක් ලැබුණි.  1942 දී දෙවන ලෝක යුද්ධයේ ආරක්ෂක කටයුතු වලට මුහුණ දීම සදහා ටොරින්ටන් චතුරස්‍රයේ සමස්ත ගොඩනැගිලි සංකීර්ණයම බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව විසින් පවරා ගන්නා ලදී. ඒ සමගම බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් මෙම කොළඹ රේඩියෝසේවාව යුධමය අවශ්‍යතා සදහා පවරාගෙන එය රේඩියෝ සියැක් ( Radio SEAC ) ලෙස නම් කර පවත්වාගෙන ගොස් ඇත.  (SEAC යනු South East Asia Command යන්නයි). ආසියානු කලාපයේ යුද්ධයට සම්බන්ධ වී සිටින මිත්‍ර හමුදා සෙබළුනට සංගීත ආශ්වාදය ලබා දීමටත්, විවිධ තොරතුරු හා පණිවුඩ ලබා දීමටත් හැකි වන සේ බ්‍රිතාන්‍යයන් විසින් මෙම ' රේඩියෝ සියැක් ' හට නව අධි බලැති විකාශන උපකරණ සවි කර ඇත. නිවේදකයන් ටොරින්ටන් සිට වැඩ සටහන් මෙහෙයවූ අතර, අළුතෙන් ඒකල ප්‍රදේශයේ සවිකළ අධි බලැති කෙටි තරංග විකාශය ඉන්දියාව, බුරුමය, මැලේසියාව, සිංගප්පූරුව ආදී රටවල් දක්වා පැහැදිලිව ශ්‍රවනය වී ඇත.

මේ අවස්ථාව වන විට කොළඹ ගුවන් විදුලිය ශ්‍රවණය කරමින් සිටි විශාල අසන්නන් පිරිසට රේඩියෝව දිගටම පවත්වා ගෙන යාම සදහා කොළඹ රේඩියෝ ව තම අත්‍යවශ්‍ය විකාශන උපකරණ කිහිපයක් රැගෙන ගලවා බොරැල්ල , කොටා පාරේ ගොඩනැගිල්ලක ට ගෙන ගොස් එහි සිට මධ්‍යම තරංග විකාශයක් මගින් ලංකාව තුළ අසන්නන් වෙත යුධ තොරතුරු හා සුපුරුදු වැඩ සටහන් ගෙන ඒමට කටයුතු කර ඇත. 1947 වන විට ටොරින්ටන් ගොඩනැගිල්ල ගුවන්විදුලි විකාශන ආයතනයක ට සුදුසු අමතර ඉදිකිරීම් රැසක් නිමා කර ඇති අතර යුද්ධය නිමා වී බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව ඉවත් වීමෙන් පසු  1949 දී සියැක් රේඩියෝව ද නැවත  සිවිල් කටයුතු සදහා පවරා දෙන ලද ලදී. තැන තැන තිබූ සියළු කොටස් නැවත එක් කරමින් 1949 දී නැවත ටොරින්ටන් වෙත පැමිණෙන කොළඹ ගුවන් විදුලිය , එම නමින් විකාශය වූ රේඩියෝවේ කටයුතු 1949 දෙසැම්බර් 31 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ අතර, 1950 ජනවාරි 01 වන දා එය ‘ ලංකා ගුවන් විදුලිය ‘ ( Radio Ceylon ) බවට පත් විය.

                
රේඩියෝ සිලෝන් හි පළමු නිල ලාංචනය            ලංකා ගුවන් විදුලියේ නිල ලාංචනය

1967 ජනවාරි 5 වනදා ගුවන් විදුලිය රාජ්‍ය සංස්ථාවක් බවට පත්වූ අතර, එහි නම ‘ ලංකා ගුවන්විදුලි සංස්ථාව’ (Ceylon Broadcasting Corporation- CBC ) ලෙස වෙනස් කරනු ලැබින. ඉන්පසු 1972 මැයි 22 වන දා  සම්මත කරගත් පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් රටේ නම සිලෝන් වෙනුවට ශ්‍රී ලංකා ලෙස වෙනස් කෙරුණ නිසා, නැවත අප ගුවන්විදුලිය ‘ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ‘ ( Sri Lanka Broadcasting Corporation – SLBC ) ලෙස නම් කර  අද දක්වා පවත්වා ගෙන යනු ලබයි

ශ්‍රී ලංකාවේ රේඩියෝවක් තුළින්  (කලම්බු රේඩියෝ හි) පළමුව සිංහල බසින් කතාවක් පවත්වා ඇත්තේ 1928 පෙබරවාරි 28 වන දා පංඩිත පී.ටී. ගුණවර්ධන මහතා විසින් වන අතර 1928 අප්‍රියෙල් මස 21 වන දා සිංහල බසින් මුල්ම බොදු ධර්ම දේශනය පවත්වා ඇත්තේ පූජ්‍ය පැලෑනේ වජිරඥාණ හිමියන් විසිනි. එමෙන්ම කලම්බු රේඩියෝ වේ ප්‍රථම සිංහල නිවේදකයා ලෙස 1938 දී ඩී.එම්. කොළඹගේ මහතා බදවා ගෙන ඇත . ඔහු සම්බන්ධීකරණ මැදිරියේ සිට අසන්නන් අමතා ඇත්තේ “ කොළඹින් කතා කරමි... කොළඹින් කතා කරමි.. “ යනුවෙනි. ඉංග්‍රීසි නිවේදකයන් එම කාර්යය “ කලම්බු කෝලින් “ ( Colombo Calling  ) ලෙස අමතමින් ඉටු කර ඇත. ලංකාවේ ගුවන්විදුලි සේවාවේ මුල්ම නිවේදිකාව ලෙස කටයුතු කර ඇත්තේ ප්‍රභා රණතුංග මහත්මිය යි.

               

ඩී.එම්. කොළඹගේ මහතා      ප්‍රභා රණතුංග මහත්මිය

No comments:

Post a Comment