අවසන් හෝරාව

අවසන් හෝරාව

විදුලි පංකාව කිරි.. කිරි.. හඬ නගමින් වේගයෙන් කැරකෙණු විරාජ් ට දැනෙයි. එයින් නැගෙන හඬින් කියැවෙන්නේ වසර කිහිපයකින්ම එයට තෙල් දමා සේවාවක් කර නොමැති බවය. ඇතැම් විට එය තවත් මොහොතකින් තම හිස මතට කඩා වැටේවියැයි ඇඟ සලිත කරවන බියක් හිතට දැනුනද එදෙස බලන්නටවත් හිස ඔසවන්නට විරාජ් ට නොහැකිය. ඔහුගේ සිරුරේ තිබූ සියළු ධෙර්යය , ශක්තිය , සිරුර තෙත්වූ දහඩිය සමග ඈතට නික්ම ගොසිනි. මෙවැනි අසරණ මොහොතකට ජීවිතයේ කිසි දිනක තමා පත්වී නොමැති බව ද ඔහු දනී. ඉකි ගසා විලාප තියන්නට ඇවැසිව තිබුනත් එය බලහත්කාරය යොදා නවතා ගෙන ඇත. 

" ඔය ඔළුව ඩිංගක් උස්සන්න විරාජ්.. "

මයුරිගේ හඬින් දැහැන බිඳී යයි. බිමට දෙපය තබා ඇඳෙහි වාඩිවී සිටින තමාගේ මුහුණ දෙසට  උකුල දෙසින් නැමුනු මයුරි ගෙල කරකවා ඇගේ දෑස විරාජ් ගේ දෑස දෙසට යොමු කරයි.

" ඇයි විරාජ් ඔයාගෙ ඇස් වල කඳුළු .. "

මයුරි එසේ අසන්නේ වේදනාව හා බැගෑපත් බව පිරුණු හඬිනි. 

" ඔයා ද අඬන්න ඕනෙ. මේ බලන්න මං අඬන්නෙත් නෑ '' 

නැවතත් මයුරි ගේ හඬ විරාජ් ට ඇසෙයි. මයුරි ඇඳෙහි වාඩි වී ඉන්නා විලාසය අනුව එම හඬ විරාජ් ට ඇසෙන්නේ කන අසළින්ම ය. එම හඬත් , පවසන වචනත් විරාජ් ගේ දෙසවන් තුළ අකුණු ගසන්නාක් මෙනි. 

" ඔයා දන්නවද ඇයි මං අඬන්නෙ නැත්තෙ කියලා.. "

මයුරි නැවතත් වචන දිග හරියි. ගෙවී ගිය හැම තත්පරයකම ඇය කුමක් හෝ කීවා විරාජ් ට මතකය. ඇය ඇසූ පැනය ට ඔහුගෙන් පිළිතුරක් ලැඛෙන හැඩක් නැත.

" ඇයි දන්නවද මං අඬන්නෙ නැත්තෙ ඇයි කියලා.."

එවර මයුරි නිවුණුු හඬින්, සෙමෙන් යළි අසයි. පිළිතුරු නැත.

" අඬලා.. අඬලා.. ඇස් අස්සෙ තවත් කඳුළු නෑ.. විරාජ්.."

ඇය හුන් තැනින් නැගිට ඩබල් ඇඳෙහි අනෙක් පසට දුව ගොස් කොට්ටයක් උකුලට ගෙන එය මත මුහුණ ඔබා ගනී. අඬන්නට ඇස් ඇතුළේ තවත් කඳුළු නෑ කීවත් මයුරිගේ ඇඟ සෙමෙන් ගැස්සෙන අයුරු ඇඳෙහි ඇතිවන සියුම් කම්පනයකින් විරාජ්ට දැනේ. තමන්ට මේ සිදුවූයේ කුමක්දැයි සිහි එළවා ගැනීමට විරාජ් උත්සාහ කරයි. එක් වරම මයුරි ගේ මුවින් විලාපීය ඉකියක් මතුවුනු හඬින් තිගැස්සී ගිය විරාජ් මුල් වරට හිස ඔසවා මයුරි දෙස බැලීය. ඇය නැගෙන ඉකිය සිර කරගෙන හඬණු දුටු ඔහු නැවතත් හිස පහලට එල්ලා ගත්තේය. ගෙවී ගිය විනාඩි ගණන ඇරඹුනේ කොතනකින්දැ යි සිහි ගන්වන්නට විරාජ් ට උවමනා විය. 

පරිගනකයේ තිරය මත ඇති ඉලක්කම් සියල්ල මතකින් කිව හැකි තරමට විරාජ් එදෙස බලා සිටින්නට ඇත. එතැනින් එහාට ගණනය කිරීමක් කළ යුතුව තිබුන ද, එයට යෙදිය යුතු ක්‍රම වේදය සිහියට නොනැගුනු බැවින් යළි යළිත් පෙර පිටුවට ත් පසු පිටුවටත් තිරය යොමු කරමින් කිහිප වාරයක් උත්සාහ කරන්නට ඇත. එක් වරම කිසිවෙකුත් පිටට තට්ටු කළ බැවින් විරාජ් පියවි සිහියට පත් වන්නට ඇත.

" වරෙන් යන්න තේ එකක් බීලා එන්න.. "

කසුන් විරාජ් ගේ හොඳම කාර්යාල මිතුරා ය. එකිනෙකා වෙත කිව යුතු නොයුතු කිසිවක් ඉතිරා නොවන සේ එකිනෙකා කතා බහ කරන විරාජ් ගේ එකම මිතුරා ය. ඔහු ගේ ඉල්ලීම ලැබුනේ නියමිතම වේලාවේදී යැයි සිතූ විරාජ් සැණෙකින් කසුන් හා එක්ව ආපන ශාලාව වෙත පිය නැගීය.

" උඹ කනවද මොනා හරි.. "

" එපා කසුන්... රස්නෙන් ටී එකක් බොමු.. "

මොහොතකින් දෙදෙනාම උණු කිරි තේ තොල ගාමින් මේසයක දෙකෙලවර අසුන් ගෙන සිටී. 

" ඒයි විරාජ්... උඹේ හොඳම යාළුවා කවුද කියාපං.. "

" උඹ තමයි බං.. මොකක් අහනවද මන්දා..  "

" ඉතිං .......තො මොනා හරි ප්‍රශ්නයක් තියෙනවනං මාත් එක්ක කියාපංකො.. ලැප් එක කන්න හදන්නෙ නැතුව  "

" මොන බම්බුවක් කතා කරනවද මන්දා ... කවුද බං ලැප් එක කන්න හැදුවෙ .. "

" යකෝ.... උඹ ලැප් එකත් එක්ක මූඩ් ගහගෙන ඉන්නවා මං දැන් දවස් ගාණක් නෝටිස් කළා.. මං දන්නවනෙ උඹේ හැටි.. උඹට මොකක් හරි ප්‍රශ්නයක් නැත්තං උඹ ඔය විදියට ඉන්නෙ නෑ.. "

" නෑ බං ... එහෙම එකක් නෑ.. "

" අන්න .. අන්න .. ඉතිං.. උඹ මටත් බබා පාට් දානවා... හරි මං අහන්නංකො.. ඇත්ත කියාපං .. නිසංසලා මොකක් හරි බාල්දියක් දැම්මද.. "

නිසංසලා විරාජ් ගේ බිරිඳ යි. ඇය මේ දිනවල දෙවෙනි දරු ප්‍රසූතිය ට සූදානම් වෙමින් සිටී. පළමු දරුවා වූ දුවට තවම වයස දෙවසර පිරුනේ ත් නැති ව තිබිය දී දෙවෙනි දරුවා කුසට පැමිණීම නිසංසලා ට තරමක් අපහසුවක් වුවද, එය ඇය සතුටින් දරා සිටී. දෙවෙනියාට ලැඛෙන්නට ඉන්නේ පුතෙකු බව දැනගැනීමෙන් නිසංසලාගේ සතුට තවත් වැඩි වී තිබේ.

" ඔන්න විරාජ් දැං ඇති හොඳේ.. "

" හරි කතාවක් නෙ... ඔව්වා ඉතිං දෙයියො දෙන ඒවනෙ.."

" දෙයියො කොහොම උනත් ... දෙයියගෙ මෙහෙ ඉන්න පුතා .. ඩිංගක් ඉවසලා උන්නනං ..දෙයියො මෙච්චර ඉක්මණට තෑගි දෙන්නෙ නෑනෙ.. "
" හරි.. හරි.. මෙහෙ ඉන්න දෙයියන්ගෙ පුතාට විසේ වැඩිනං .. දෙයියංගෙ දුව දැනගන්න ඕනෙ .. තමුං කල්පනාවෙන් ඒවා ප්‍රෝග්‍රෑම් කර ගන්න ... "

කෙසේ වෙතත් මාස ගණනාවකින් ම තමාත් , නිසංසලාත් නිදහසේ ලිංගිකව එක් නොවුන බව සිහිපත් වන විට විරාජ් ට මහත් කෙඩෙත්තු ගතියක් දැනේ. තරුණ කාන්තා සිරුරක් හා රිසි සේ සිප වැළඳ ගනිමින් ලිංගිකව ලබන සතුටකින් පසු මොහොතක් ගත වන තුරු ඇෙඳහි වැතිරී ලබන සුවය කොපමණ සතුටක්දැ යි විරාජ් දනී.

" හරි .. ඕකද උඹේ ප්‍රශ්නෙ ... "

" පිස්සු ද බං .... එහෙම ප්‍රශ්නයක් මට නෑ.. "

" හරි.. එහෙනං .. මෙන්න මේකට මට උඹ ඇත්තම කියාපං.. "

" මොකද්ද .."

කසුන් විරාජ් ගේ කන ට තම මුව සමීප කර යමක් කෙඳිරීය.

" මොකක් ... "

" හරි.. උඹ .. නිසංසලා ඇර වෙනින් කවුරු හරි කෙල්ලෙක් හරි ගෑනියෙක් හරි එක්ක ඉඳලා තියෙනවද .."

" පිස්සු ද බං .. නිකං ලෙඩ හදා ගෙන පිඹ පිඹ ඉන්න .."

" අන්න උඹ දන්න තරම .. යකෝ ... අපේ ලංකාවෙ මිනිස්සුන්ටත් ඔය ලෝකෙ අනික් එවුන්ට වගේ තමා .. මාර උණක් තියෙන්නෙ... හුඟක් අය ඔය උවමනාව හිර කරගෙන කල්පනා කර කර තැවි තැවි ඉන්නවා .. වෙනින් රටවල වැඩේට ලයිසන් තියෙනවා .. පොට් එකකට ගියා.. එකක් තෝර ගත්තා .. ගෑස් ඇර ගත්තා .. වොෂ් එකක් දාගෙන ගෙදර ගියා .. අන්න ඒකට අපේ රටේ..  සංස්කෘතිය.. රෙද්ද ... බොරු කඩතුරාවලින් සැබෑ ජීවිත වහලා දාලා .. මිනිහෙකුට ඒ වගේ උවමනාවක් ඇති වුනොත් යන්න තැනක් නෑ.. පොලිසියෙ .....ගෙ පුතාලා කොයි වෙලේ පනී ද දන්නෙ නෑ.. "

" ලංකාවෙ ඉතිං .. ඉල්ලීගල්නෙ .. "

" අම්මගෙ රෙද්ද ... පලයා බං යන්න .. උඹ දන්නවද බම්බා ඉඳන් දෙහිවල මොරටුව හරියට යනකං පොට් කීයක් තියෙනවද කියලා. .. "

" උඹ ගිහිල්ලම දන්නවා වගේනෙ කියන්නෙ "

" බොරු ඕනෙ නෑනෙ මචං .. මං තාම තනිකඩයා .. මට ඕනෙකමක් ඇති වුනොත් .. ගියා .. තෝරගත්තා ... කෑෂ් ගෙවුවා .. කාමරේට ගියා ... කොන්ඩම් දෙකයි .. ටවල් එකයි .. කාමරේට ම සප්ලයි.. පැයක් ආතල් ගත්තා .. වොෂ් එකක් දාගෙන චූං එකේ ආවා. "

" ලෙඩ හදා නොගත්තා ඇති .. කැත නැද්ද බං වල් ගෑනු එක්ක නිදා ගන්න.. "

" කවුද බං ලෙඩ හදා ගන්නෙ ... කවුද වල් ගෑනු එක්ක නිදා ගන්නෙ .. ඒකට තමයි යකෝ කොන්ඩම් දෙකක් ම දෙන්නෙ ... කොන්ඩම් නැතුව ඒ කෙල්ලොත් ළං කරන්නවත් දෙන්නෙ නෑ.. මහ ගෑනු නෙවෙයි බං ..  දහ අටේ, විස්සෙ, විසි දෙකේ පොඩි කෙල්ලො .. එක එකා ගාමන්ට් රස්සා වලට අරං ඇවිත් උන්ගෙ වැඩේ කරගෙන මේ තැන් වලට ඉන්ට්‍රඩියුස් කරලා ... උන්ටත් වෙන විකල්ප නෑ.. ගෙවල් වල ඈයො හිතං ඉන්නෙ කෙල්ල ගාමන්ට් රස්සාවෙ කියලා .. අවුරුදු තුන හතරක් ඉඳලා .. සල්ලි ටිකක් එකතු කරගෙන .. ගමේ ගේකුත් හදා ගෙන .. හොඳ කසාදෙකුත් කර ගෙන .. දරුවොත් හදා ගෙන ජීවිතේ ගෙවනවා.. "

විරාජ් නිහඬව ම මේසයේ ඉරි අඳිමින් සිටී. තමා දැන සිටියාට වඩා මහා විසල් ලොවක් තමා වටා ඇති බව ඔහුට සිතාගන්නටත් නොහැකි තරමි ය. 

" අහිංසක කෙල්ලො බං ...  උන් ගණිකාවො නෙවේ "

විරාජ් ගේ මේස ඉරි ඇඳීම නවතින්නේ කසුන් ගේ අතකින් එය නැවතූ නිසාය. 

" වරෙං යන්න .. බ්‍රාන්ච් එකට .. මං උඹට තව විස්තර කියන්නන්කො.. "

කසුන් තමාගේ සිතෙහි වද දෙන ගැටළුවක් හඳුනාගත්තා ද එසේත් නොමැති ව තමා ගේ සිතට අළුත් ගැටළුවක් ඇතුළුකළා ද යි විරාජ් ට සිතාගන්නට නොහැක. කෙසේ වෙතත් නව දුවණිය ලැබී තවත් මාස හත අටක් ගත වන තුරු නිසංසලා ගෙන් තමන්ට ලිංගිකව සතුටක් නොලැඛෙන බව විරාජ් ස්ථීරව ම දනී.

ගාළු පාරෙන් මුහුද දෙසට හැරවුණු කසුන් ගේ මෝටර් රථය ඒ මේ අත හැරී නවීන පන්නයේ හෝටලයක් ඉදිරියේ නැවතින. නෙත් පිනවන පෙනුමක් ඇති ආලින්දයේ පිළිගැනීමේ නිලධාරියා කසුන් ගේ මිතුරෙකු සේ පෙනුනේ ඔහු එතරම් සුහද ව අප දෙදෙනා පිළිගත් බැවිනි.

" සර් .. කාලෙකින් ... "

" ඔව් මල්ලි ... දන්නෙ නැද්ද ඉතිං ..  මේ .. කවුද ඉන්නෙ අළුත් අය .. 

" සර් .. හොඳ දවසක ආවෙ .. ගිය සුමානෙ අළුත් ළමයෙක් ආවා.. "

" මට එපා .. එයාව මගෙ යාළුවට දාන්න ... මං වෙනින් කාව හරි බලලා ගන්නං.. මගෙ යාළුවා ෆස්ට් ටයිම්.. ඒකයි.."

 " හරි සර් ... සර් එහෙනං ටිකක් ඉන්න .. මං මේ සර්ව දාලා එන්නං.. "

පිළිගැනීමේ නිලධාරියා විරාජ් ව කැඳවා කොරිඩෝරයක් දිගේ ඉදිරියට යයි. ඔහු පසුපස විරාජ් ඇදී යන්නේ භූතාත්මයක් ඇදී යන්නා සේ සිත් පිත් නැතිවය. කාමර අංක අට ඉදිරියේ නැවතුණු ඔහු එක් අතෙක නියපොතු තුඩු දොරට ලං කොට කර.. කර.. කර.. හඬ නගන අයුරින් සංඥා තට්ටුවක් දමා තත්පර කිහිපයකින් දොරෙහි ඇතුළත අගුල පැන්නෙනු ඇසිණ. දොර ඇතුලෙන් ඇරුණේ නැත. පිළිගැනීමේ නිලධාරියා සෙමෙන් අගුල කරකවා දොර හැර ඇතුළට යන්න යැයි විරාජ් ට සංඥා කළේය. 

" අළුත් කෙල්ල සර් .... බය කරන්න එපා .."

දොරෙන් ඇතුළට අඩිය තියද්දීම පිළිගැනීමේ නිලධාරියා කියනු විරාජ් ට ඇසුණි. පපුව ගුඩු පොල් ගෙඩියක් මෙන් ගැහෙනු ඔහුට දැනේ. සිහින් සිරුරැති සුන්දර යුවතියක් ඇඟට හිරවුණු ඩෙනිමකින් හා රෝස පාට බ්ලව්සයකින් සැරසී දිගු කෙස් කළඹ පිට මැද්දට මුදා හැර කාමරයේ කෙළවර ජනේලය අසළ බිම බලාගෙන සිටිනු විරාජ් ට පෙනිණ.

" මාලි ... අළුත් සර් කෙනෙක් ... හොඳට බලා ගන්න ... ෆස්ට් ටයිම් ...  ඔයා වගේ තමා "

විරාජ් බිත්තිය දෙසට හැරී බිම බලා සිටියදීම දොර වැසී යනු ඇසිණ . යුවතිය දොර වෙත සෙමෙන් ගොස් ඇතුළත අගුල දමා තමා දෙසට ඇවිද ආ අයුරු විරාජ් ට දැනිණ. තමා අසලටම පැමිණි යුවතිය තමාගේ පපුවට වඩාත් ආසන්නව නැවතී  හිස පසෙකට හරවා දකුණු කන තමාගේ පපුව මතට තද වන සේ හිස පපුවට තද කර ගන්නවා විරාජ් ට දැනුනේ සිහිනයක මෙනි. ඇගේ හිස් මුදුනේ දෙපසට ඛෙදුනු කෙස් වැටියේ ඉර පැහැදිළිව පෙනේ. ඒ හිස් මුදුන සෙමින් සිප ගන්නට විරාජ් ට සිතුණි. තම මුහුණ මඳක් පහත් කොට හිස මුදුනට සමීප කරද්දී හිස කෙස් තුළින් ඇදී ආ රාණී සඳුන් සබන් සුවඳ මැද මොහොතක් විරාජ් අතරමං විය.  තම නාසයත්, දෙතොලත් හිස් මුදුනට සෙමින් තෙරපා එය උණුසුම් ලෙස සිප ගන්නවාත් සමග ම යුවතිය ගැස්සී හිස ඉවතට ගෙන සැකමුසු මුහුණින් එක එල්ලේම තම මුහුණට එඛෙනු විරාජ් ට මතක ය. 

" දෙයියනේ ... විරාජ්... ඔයා... "

එක්වරම ඇඳ මත හිඳ ගැනුණු විරාජ් ගේ පසෙකින් ඇඳ මත ඇද වැටුණු යුවතිය කොට්ටයක් ගෙන එය මුහුණට තද කරගෙන මුහුණ වසා ගත් අයුරු විරාජ් ට පෙනින. ඇඳ මත හිඳ ගත් විරාජ් ගේ හිස , කැණක් කපන්නට  ගසේ මැදින් පිහි පහරක් ගසා දෙකට නවා ගත් කෙසෙල් ගසක් සේ පහතට නැමී ගියේ යළි කිසි විටෙකත් නොඑසවෙන්නට ය. 

" අනේ විරාජ් ... ඔළුව ඩිංගක් උස්සන්නකො... මට ඔයාගෙ මූණ බලන්න ඕනෙ ... තාම ඒ වගේම ද කියලා බලන්න ඕනෙ... ඔයාගෙ පපුවෙ උණුහුමයි සුවඳයි මට අඳුනගන්න පුළුවන් වුනා විරාජ් ... දෙයියනේ ඔය පපුවෙ මගෙ මේ මූණ ඔබාගෙන මං එදා කොච්චර වෙලාවක් නං ඉන්න ඇද්ද.. ඒත් මෙහෙම තැනක ඔයාගෙ පපුවට තුරුල් කරන්න සිද්ද වෙච්ච මගෙ මේ මූණ ආයෙත් මට එපා ..එපා.. එපාමයි. "

චටස්.. චටස්.. හඬින් කම්බුලකට පහර වදිණු ඇසුණු විරාජ් සැනෙන් හිස ඔසවා බැලීය. මයුරි තම දෙඅත්ලෙන් කම්බුල් දෙකට ගසා ගනිමින් සිටී. සැනෙකින් විරාජ් ඇගේ දකුණු අත මිරිකා පහර වළකාලනවා ත් සමග කඳුළු පිරුණු දෑසින් එක් වරක් මුහුණ දෙස බැලු මයුරි එක් වරම වියරුවෙන් මෙන් විරාජ් ගේ පපුවට හිස තුරුළු කරගෙන දෑතින් ම ඔහු ගේ සිරුර බදා ගත්තාය. මොහොතක් තම පපුව දිගේ පහලට උණුසුම් කඳුළු බිඳු වැගිරී යනු විරාජ් ට දැනින. ඊළග මොහොතේ එතැනින් බැස ගත් මයුරි ඇඳෙහි අනෙක් පසෙහි විරාජ් ට පිටුපා වාඩි වී සිටිනු දක්නට ලැබුනි.

" ඔයා මෙතනට ආවෙ ඇයි කියලා මං අහන්නෙ නෑ විරාජ් ... මට අහන්න ඕනෙත් නෑ... ඒත් මං ආවෙ මට වෙන එන්න තැනක් නොතිබුණු හින්දා ... මාත් ජීවත් වෙන්න ඕනෙ හින්දා.. අනික මගෙ පොඩි එකීව ජීවත් කරවන්න ඕනෙ හින්දා.. "

විරාජ් ගේ සිරුර එක්වරක් ගැස්සී යළි තිබුණු ඉරියව්වට ම පත් විය.

" කෙල්ල ඔයා වගේමයි විරාජ් ... ඔයාගෙ කපාපු පළුව .."

" මොකක් ... "

විරාජ් ගේ මුවින් පිට වූ පළමු වදන එයයි.

" ඔව් විරාජ් ....  මට කෙල්ල හන්දා ඔයා නැති පාළුව දැනුනෙ නෑ... ඉස්සරහට දැනෙන්නෙත් නෑ.. කෙල්ල මං ගාව ඉන්න කල්... ඒත් ...  "

මොහොතකට මයුරි ගේ හඬ නිහඬ විය. තත්පරයක් විරාජ් ගේ මුහුණ දෙස බලා සිටි මයුරි කොට්ටයට මුහුණු තද කර ගෙන හඬ නොනැගෙන්නට විලාප තියන්නට විය.

" මං කෙලි පොඩ්ඩිව ලොකු මහත් කරන්න නොවිඳිනා දුක් වින්දා විරාජ් ... මං නොවිඳිනා දුක් වින්දා... ඒත් මං වල් කමේ ගියෙ නෑ දෙයියනේ ... බැරිම තැන පෙරේදා තමා මෙතැනට ආවෙ.. අනේ මං වල් කමට මෙතනට ආවා නෙවේ විරාජ් ... කෙල්ලටයි .. මටයි.. බඩගින්නෙ ඉන්න බැරි හන්දා.. "

" මං ඔය කිසි දෙයක් දන්නෙ නෑ .. "

" ඔයා දන්නෙ කොහොමද... අකුණක් ගැහුවා වාගේ ඔයා එක පාරටම මොකද්ද පුහුණුවකට කියලා රට ගියා නෙ.. එදා වැවේ කුඹුක් ගහ ගාව ඔයාගෙ පපුවට තුරුළු වුණු වෙලාවෙ දැනුණු උණුසුම යි සුවඳ යි මට හැමදාම දැනුනා විරාජ් "

කුඹුක් ගහ හෙවන සිහි කරත්ම විරාජ් ගේ මනැසට ගලා ආවේ මයුරි හා තමා ගේ පළමු සමීප හමුව පිළිබඳ මතක රූ පෙළ යි.

දෙණිපිටියායේ වැව අතිශය සුන්දර රමණීය පරිසරයක පිහිටා තිබේ. වැසි සමයේ දී එය දිය පැන්නුමෙන් පහලට ඇද හැලෙන පුළුල් දිය ඇල්ලක් නිර්මාණය කරමින් පිරී ඉතිරී ගියත් වසරේ අන් සියළු කාල වලදී දෙණිපිටියායේ වැව ගම්මුන්ගේ බොහෝ දිය අවශ්‍යතා සපුරා ලයි. මහ පාරේ සිට දිය පැන්නුමේ කොන්ක්‍රීට් පාලම පසු කර ගත් විට අඩි සියයක පමණ සුන්දර වැව් තාවුලකි. මුහුදු වෙරළක මෙන් සුදු වැලි තලාව මැදින් දියට බසින්නේ කාන්තා පාර්ශ්වය පමණි. වැලි තලාවේ සිට යාර විස්සක් තිහක් ගිය විට කරවටක් ගිලී යන්නට දිය පිරී පවතී.

ගැහැනු තොටුපළේ සිට මඳ දුරකින් උස් වැව් ඉවුරක් අයිනේ දැවැන්ත කුඹුක් ගහක් පිහිටා තිබේ. එහි මුල් පඩි පෙළක් සේ පහළට බසින්නට පිරිමින්ට පාර පෙන්වයි. මුල් අතරින් ප්‍රවේශමෙන් අඩි තබමින් වැවට බසිනවාත් සමගම සාමාන්‍ය පිරිමියෙකුගේ කර මට්ටමට ගැඹුරු වතුරකට බැසිය යුතු වේ. ගැහැනු තොටුපලට නිතරම අව් රැල්ල වැටෙන බැවින් එහි ජලය තරමක් උණුසුම් වුවද කුඹුක් හෙවනින් සැදුණු පිරිමි තොටුපළේ ඇත්තේ ඇඟ හිරි ගඩු නංවන සිහිතලකි.

ආසන්න නගරයේ ආයතනයක රැකියාවකට පැමිණි විරාජ් නැවතී සිටියේ දෙණිපිටියායේ ඥාතියෙකුගේ නිවසේ ය. හැන්දෑවේ සේවය අවසන් කරන ඔහු තම මෝටර් බයිසිකලයෙන් ඉක්මනින් ම නිවසට පැමිණ නිවසට මඳක් ඈතින් පිහිටි වැවට යන්නේ දිය නෑමට ම නොව දිවා කල සේවයේ විඩාව නිවා මඳ වේලාවක් දියේ බැස හිඳීමට ය. විරාජ් ට මයුරි දැක ගන්නට ලැඛෙන්නේ මේ සැන්දෑ දිය කෙළියේදී ය. පළමු දැක්මෙන් ම තම සිත සසල කළ මේ සුන්දර යුවතිය කවුරුන්දැ යි සොයන්නට එතැන් සිට විරාජ් ගේ සිත උත්සාහ කළේය.

කාර්යාල වේලාවෙන් පසුව කළ යුතු හදිසි කාර්යයක් වුව ද පසුදිනට කල් දමා හරියටම වෙලාවට වැවට බැසීම රාජකාරියට විරාජ් හුරු වූයේ නිතැතිනි. ගමේ කවුරුන් වැව් දියේ බැස සිටිය ද නිකට තෙක් දියේ ගිලී එකිනෙකාගේ දෑස් පටලවා ගන්නට මයුරි හා විරාජ් ට ගත වූයේ ටික දිනකි. පාලොස්වක පෝය දිනෙක ගමේ පන්සලේ බෝ මළුවේ දී මුල් වරට දෙදෙනා තොරතුරු හුවමාරු කර ගන්නේ එතෙක් නොඉවසිලිවන්තව සිටි දෙදෙනෙකු ලෙසිනි. නොබෝ දිනකින් ම දෙදෙනා එකිනෙකා දැඩිව පෙමින් බැඳුණු පෙම්වතුන් බවට පත් වූයේ සසර පැතූ ලෙසකි නි. 

කොට්ටයට හිස තද කර ගත් මයුරි ගේ උරහිස් තවමත් සෙමින් ගැස්සෙණු පෙනේ. ඇය නොනවත්වාම හඬයි. පාට පාට සව් කරදාසි තීරු තීරු අලවා සුන්දර ලෙස නිම කර ආලෝකයෙන් බැබළුණු වෙසක් කූඩුවක් හදිසියේ ම ගිනි දළු වලින් වැසී ගියාක් මෙන් විරාජ් ගේ හදවත වේදනාවේ ගිනි දළු වලින් වැසී ගොස් ය. මයුරි සිහිපත් කළ ඒ සුන්දර මොහොත යළි සිහිපත් කර ගන්නට විරාජ් ට අමුතුවෙන් උත්සාහ ගත යුතුව තිබුනේ නැත. ඔහුගේ ද ජීවිතයේ කිසිදා අමතක නොවන සුන්දර මතකයක් සේ ඒ මොහොත තැන්පත් වී තිබුණි.

එය දෙවියන්ගේ හෝරාවක් ද, මාරයා ගේ හෝරාවක් ද යන්න විරාජ් ට සිතා ගන්නටවත් නුපුළුවන. එදා ඒ මොහොතේ ඔවුන් දෙදෙනා හැර අන් කිසිවෙකු වැව් පිටියේ නොසිටීම අදට ත් විරාජ් ට පුදුමයකි.

දිය නා අවසන් වූ මයුරි තුවාය සමග මහත් සටනක් කරමින් චීත්ත ගවුමින් සැරසෙන්නට වෙර දරන අයුරු විරාජ් බලා සිටියේ නොඉවසිල්ලෙනි.

" මොනාද ඔය බලාගෙන ඉන්නෙ ... අහක බලා ගන්නකො .. මට ඇඳුම් මාරු කර ගන්න.."

යාර කිහිපයක් ඈත එළිමහනක සිට ඇය කීවේ ඇත්තටම තොටුපළේ අන් කිසිවෙකු නොසිටි බැවින් විරාජ් රිසි සේ තමා දෙස බලා සිටිනු දැකීමෙනි.

" ඒක හරි කතාවක් නෙ.. මොකද වෙනදටත් මට අහක බලාගන්න කියලද ඇඳුම් මාරු කළේ.. "

" ඒකෙන් වැඩක් නෑ .. අද කවුරුත්ම නෑනෙ .. අනේ අහක බලා ගන්නකො.. "

" පොඩ්ඩක් ඉන්න.. "

විරාජ් තමා අඳින්නට රැගෙන ආ අළුත්ම සරමත් රැගෙන මයුරි දෙසට පිය නැගුවේය.

" ආ... මේක අළුත්ම සරමක්. මං තාම ඇන්දෙවත් නෑ.. මේක පටලෝගෙන ඇඳුම් මාරු කර ගන්න.. ඉන් පස්සෙ ගෙනත් දෙන්න "

කර කියා ගන්නට වෙන කිසිවක්ම නොවූ හෙයින් මයුරි එය අතට ගත්තේ ඒවා ද තමන්ට අයිති රෙදි පිළි යැයි සිතූ තරම් විශ්වාසයකිනි. පෙමින් වෙළුනාට පසුව ඇතැම් දින වල විරාජ් තොටුපල ට එන්නේ මයුරි දියට බැස්සාටත් පසුව ය. දිය පැන්නුමෙන් විරාජ් ගේ රුව මතුවන තුරු දියේ කරවටක් ගිලී බලා සිටි අයුරු මයුරී ට අමතක නැත. එවැනි ඇතැම් දිනෙක තමන් හැඳ කිළිටි වූ කමිසයක් කිසිවක් සිදු නොවූවා සේ තොටුපළේ රෙදි සෝදන ගල් පතුර මත හෙලා විරාජ් සෙමින් පිරිමි තොටුපළට ගොස් දියේ ගිලී නාන්නට පටන් ගනී. සබන් ගාන්නට මෙන් අන් අයට පෙනෙන්නට ගොඩට එය මයුරි තම සෝදන යමක් සමග විරාජ් ගේ කමිසය ද සෝදා මිරිකා යළි පසෙක ඇති සිමෙන්ති කණ්ඩියක් මතින් තබන්නේ ඒ ඇඳුම් තමාට ද අයිති යැයි සළකමිනි.
  
විරාජ් කුඹුක් ගස් සෙවන වෙත ගොස් තුවායෙන් ඇඟ පිස දමන්නට විය. මොහොතකින් මයුරි විරාජ් අසළට පැමිණියා ය. රෝස පාට පුංචි මල් මෝස්තරයක් තිබූ තරමක් තුනී චීත්ත ගවුමේ තැනින් තැන වතුරෙන් පෙඟී තිබුනි. ඒ වන විටත් තෙත්ව තිබූ දිගු කෙස් කළඹේ දිය සීරාවන් ගවුමේ පිට තෙමමින් තිබින. තෙත් වූ මයුරි ගේ පිටේ ඇත් දළ පාට විරාජ් ට පෙනුනේ සමස්ත සිරුරේ ම නිරුවත පිළිබඳ සිතුවිලි පහල කරවමිනි. තම අත තිබූ තුවායේ දෙකෙලවර අත් දෙකින් අල්ලා වලල්ලක් දමනවාක් මෙන් එය මයුරි ගේ පිට වටා දැමූ විරාජ් එක් වරම මයුරි ව තම සිරුර වෙත ඇද තුරුළු කර ගත්තේ ලොවම අමතක වූවා සේය.

" අනේ ......... මේ මොකද ... අනේ කවුරු හරි එයි ... අනේ අත අරින්නකො .. "

මයුරි කෙතරම් ඇවිටිලි කරමින් දැඟළුවත් පිට වටා බැඳ ගත් දැවැන්ත කඹයක් සේ තුවායෙන් තමා වෙත තදින් තුරුළු කර ගෙන සිටි මයුරි ව නිදහස් කිරීමට විරාජ් කිසිදු උවමනාවක් නොවීය . විරාජ් ගේ පපුවට මුහුණ තද කරගෙන ටික වේලාවක් දැඟළුෑ මයුරි නොදැනුවත්ව ම ටිකෙන් ටික දැඟලීම අඩු වී විරාජ් ට තුරුළු වූවා ය.

" අනේ විරාජ් මහත්තයා ... එපා  ... අනේ.. එපා... "

ජීවිතයේ මුල් වරට තම පෙම්වතාගේ ළැමට තුරුළු වී කෙඳිරිලි හඬින් මොනවාදෝ කියමින් අසරණව සිටින මයුරි ව තුරුළු කර ගත් ලෙසින්ම අසල වන බූටෑවට ඇදුණු විරාජ් කිසිවෙකුට නොපෙනෙන අඳුරු හෙවණක රිසි සේ සතුට විඳගත් අයුරු දුටුවේ අසල ගස් මත වසා සිටි ගිරවු රෑනක් පමණි. මයුරිගේ වේදනාව මුසු කෙඳිරියත්, විරාජ් ගේ නිහ`ඩ හති දැමීමත්, අනතුරුව මයුරි ගෙන් නැගුණු සිහින් ඉකියත් දෙදෙනාටම රහස් බවට ඉතිරි කරමින් මයුරි ආපසු දිව ගියාය. විරාජ් මොහොතකින් යළි කුඹුක් හෙවණට පැමිණෙද්දිත් කිසිවකුත් වැව් තොටුපළ වෙත පැමිණ නැත . ගෙවුනු මොහොත ලොවට රහසක් විය. පළමු උණුහුම එළෙස නිමා වුව ද දෙදෙනා කල් යල් බලා නැවත වාර ගණනාවක දී නිදහසේ ආදර උණුසුම විඳ ගත්හ.

විරාජ් ගේ මුවින් පිටවූයේ වේදනාව, පසුතැවිල්ල පිරී ගිය දැඩි සුසුමකි. මයුරි හිස ඔසවා බැලූවාය. එකෙනෙහිම කිසිවෙකු ටක් .. ටක්.. ටක්.. හඬින් දොරට තට්ටු කරනු ඇසින. මයුරි හරි බරි ගැසී ඇඳෙහි වාඩි වී පොළොවෙහි දෙපා තබා ගත්තා ය.

" මාලි ... තව විනාඩි පහයි .. ඉවර කරන්න ... "

එය නියෝගයකි. විරාජ් ද තිගැස්සී හිස එසවීය. 

" ඔයාට මොකද උනේ විරාජ් ... ඇයි ඔයා මාව දාලා ගියෙ.. "

" මං හිතුවෙ නැති විදියට මට පුහුණුවීමක් ලැබුනෙ ජපානෙ ට යන්න. අවුරුදු තුනක්. ඒ කාලෙ දි මං ලංකාවට ආවෙම නෑ. "

" ඔයා දැන්.."

" ඔව් .. මයුරි මං බැඳලා .. ජපානෙ දි අන්තිම අවුරුද්දෙ මට එයාව හම්බවුනේ. ඒ පරිසරයත් එක්ක තනිවෙලා හිටිය මට එයා ළං වුනා. අපි ලංකාවට ඇවිත් බැන්දා. පළවෙනි අවුරුද්දෙම දුවෙක් හම්බවුනා. දුව ට තාම මාස දහය යි. ආයෙත් දරුවෙක් ඇවිත්.. "

" විසේ ගිහින් නෑ.."

මයුරි එලෙස කීවේ හිත සැහැල්ලූ කරගෙන බව ඇගේ ස්වරයේ හඬින්ම විරාජ් ට වැටහිණ .

" මාත් කවදාවත්ම මෙහෙම තැනකට ඇවිත් නෑ මයුරි.. මගෙ යාළුවෙකුගෙ වදේ ට මේ ආවෙ.. "

" මං දන්නවා ... ඔයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා ... ඒත් ඔයත් මනුස්සයෙක්නෙ .. "

විරාජ් හිඳගෙන හුන් තැනින් නැගිට සාක්කුවට අතක් යැවීය. 

" ආ .. මේ මගෙ කාඩ් එකක් .. මගෙ මොබයිල් නම්බර් දෙකක්ම ඕකෙ තියෙනවා. ඕනෙ වෙලාවක ගන්න. මගෙ ෆෝන් එකට කවුරු කතා කළත් එයා අහන්නෙ නෑ.. "

" ඇයි මට ඔයාගෙ නම්බර් එක ... "

" ප්ලීස් .. මට කතා කරන්න මයුරි ... මට මගෙ ලේ වලින් උපන්න දුවව බලන්න ආසයි .."

" නෑ .. විරාජ්.. මට දැන් මොනවත් ඕනෙ නෑ.. මට ඔයාව දකින්න හම්බවුනා නෙ . ඔයාගෙ පපුවෙ උණුහුම වින්ද නෙ..  මාත් අද ගියාට පස්සෙ ආයෙ කවදාවත්ම මෙතෙන්ටවත් .. මේ වගේ වෙනින් තැනකටවත් එන්නෙ නෑ.. මං ආයෙ ඔයාට කෝල් කරන්නෙ නෑ විරාජ්.. ඔයාගෙ ලෝකෙ ඔයා සන්තෝසෙන් ඉන්න.. ඔයා මගෙ ගාව ඉන්නවා වගේ දුව ව තුරුළු කරගෙන මං ඉන්නං.. "

" අනේ මයුරි... "

" නෑ.. අපි දෙන්නා එදායින් පස්සෙ ආපහු හම්බ වුණේ නෑ කියලම ඉම්මු.. ආයෙ මාව හොයන්න එපා.. ඒත් ... ඒත් මට එක උදව්වක් ඕනෙ.. "

" ඒ මොකද්ද .. "

" මට තව එක පාරක් ඔයාගෙ පපුවට තුරුල් වෙලා ඉන්න දෙන්න.."

එයට විරාජ් ගෙන් පිළිතුරක් ලැඛෙන්නටත් පෙර එක්වරම විරාජ් ගේ පපුව ට මුහුණු ඔබා ගත් මයුරි එය සිපගෙන සිපගෙන ගියාය. නැවත දැඩි ලෙස විරාජ් ගේ සිරුර වැළඳගත් මයුරි තවත් තත්පර කිහිපයක් නිහඬව ගත කළා ය. විරාජ් ගේ කමිසයේ ගැලවුණු බොත්තම් දෙක සෙමින් පිය වූ ඇය මහත් සෙනෙහසින් ඔහු ගේ දෙකොපුල් යන්තමින් සිප ගත්තා ය.

" යං .. මං දොර අරින්නං.. "

දොර වෙත ගිය මයුරි දොර පියනක් හැර කාමරයේ ඉවත බලාගෙන දොර පසෙකින් සිට ගත්තා ය. රෝබෝ පාද දෙකක් ඇති නිහඬ මිනිසෙකු කාමරයේ දොරින් එළියට පිය නගනු පෙනින.

( ඔබේ අදහස් දැක්වීම් පිළිගනිමි.)

No comments:

Post a Comment