අසීරුවට මතේ අප්පුත් වෙද රාළ කිව්වලූ




අසීරුවට මතේ අප්පුත් වෙද රාළ කිව්වලූ


ඔන්න එක්තරා ගමක උන්නලූ මතේ අප්පු කියලා මනුස්සයෙක්. මේ ඇත්තා ගමේ ඉස්කොලෙට පළවෙනි පන්තියට වත් ගිහිං අකුරක් වත් ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි. ඉතිං ලොකු මහත් වෙනකොට මතේ අප්පු තමා ගමේ කුලී වැඩ කාරයා උනේ. කොහේ හරි ගෙදරක මගුල් ගෙයක්, පිරිතක්, දානයක්, මරණයක් සිද්දවුනා නම් මතේ අප්පු දවස් ගාණක් තිස්සෙම ඒ ගෙදර නැවතීගෙනම තියෙන වැඩ පල සේරම කරන්න උදව් කරනවා. ගමේ අනෙක් මිනිස්සු මතේ අප්පුට සැළකුවෙ යමක් ඉගෙන ගත්තෙ නැති මෝඩ මනුස්සයෙක් හැටියට. මතේ අප්පුට කවදාවත්ම ගමේ කිසිම තැනක සැළකිය යුතු තැනක් හම්බ වුනේ නෑ. ඒ වුනාට ගමේ හැම තැනම කාටත් උදව් කරමින් ඇවිදිමින් ඉන්න හන්දා මතේ අප්පුටත් සමහර දේවල් ගැන පුංචි අවබෝධයක් තිබුනා.

දවසක් ගමේ ගොවිරාළ කෙනෙකුගෙ කුඩා දරුවට හදිසියෙම අසනීප වුනා. කිසිම කෑමක් බීමක් දෙන්න බැරි වුනා. හැම දෙයක්ම ආපහු කටින්ම ඔක්කාරය කරමින් එළියට දානවා. ගමේ ඉන්න අහල පහල කීප දෙනෙක්ම අත් බේත් කළත් සනීප වුනේ නැති හන්දා ගමේ මහ වෙද උන්දැවත් කැන්දාගෙන ඇවිත් බේත් කළා. ඒත් කිසිම සනීපයක් වුනේ නෑ. අන්තිමට එහා ගමේ ඉන්න බොහොම ප‍්‍රසිද්ධ වෙද මහත්තයෙකුවත් කැන්දා ගෙන ආවා. ඒ වෙද මහත්තයත් දන්න සේරම බෙහෙත් කළත් දරුවා සනීප වුනේ නෑ. වෙද මහත්තයා බොහොම කණගාටුවෙන් ආපහු යන්න ගියා. දැන් දරුවට හොදටෝම අමාරුයි. ඇස් දෙකවත් අරින්නෙ නැතුව ඇස් පියා ගත්තු දරුවා දිහා බලමින් දෙමව්පියො මුළු ගමටම ඇහෙන්න විලාප තියමින් අඞන්න පටන් ගත්තා.

ගමේ ඇවිද ඇවිද උන්නු මතේ අප්පුටත් මේ දරුවගෙ අසනීපය ආරංචි වෙලා හරිම කණගාටුවෙන් ඒ ගෙදරට ගියා. දැන් ගමේ උන්නු අයගෙන් බාගෙකටත් වඩා ඒ ගෙදර වටවෙලා. කාටත් කරන්න කිසිම දෙයක් නෑ. හැමෝම කළේ මිදුලෙ තැන් තැන් වලට වෙලා නිකටෙ අත් තියාගෙන හූල්ල හූල්ලා හිටිය එක තමා. මතේ අප්පුත් හෙමින් හෙමින් ගේ ඇතුලට ගියා. දරුවවත් බැලූවා. දරුවට හැදිලා තිබුනෙ බොහොම දරුණු බෙඬ් අමාරුවක්. මතේ අප්පුට එක සැරේටම මතක් වුනා මතේ අප්පුගෙ සීයා ඉන්න කාලෙ දවසක් දා මේ වගේම අමාරුවෙච්ච ළමයෙකුට දුන්නු අත් බේතක්. මතේ අප්පුත් මොකද කළේ. හෙමිහිට මේ දරුවගෙ තාත්තා ගාවට ගිහින් තමුන්ට මතක් වුනු ඒ පැරණි බේත කිවුවා. දරුවගෙ තාත්තා මතේ අප්පුව ගණන් ගත්තෙවත් නෑ. බැනලා එළවා ගත්තා. මතේ අප්පු හරිම වේදනාවෙන් දරුවගෙ අම්මා ළගට ගිහිං මේ බේත කිවුවා. 

තාත්තා මතේ අප්පුව එළවලා දාන හැටි මේ අම්මත් දැක්කා හින්දා අම්මටත් වේදනාව වැඩි කමට මතේ අප්පුව එළවලා දැම්මා. මතේ අප්පු ඒ ළග හිටිය වැඩිහිටියෙකුටත් කිවුවා. තමන්ගෙ සීයා මේ වගේ ලෙඩෙකුට දුන්නු ඖෂධයක් හන්දා මේක දීලා බලන්න කියලා. ඒ වැඩිහිටියා දරුවගෙ අම්මයි, තාත්තයි ගාවට ගිහින් කිවුවා 

‘‘ දැන් ඉතිං අඞලා.. දොඩලා කාලෙ ගෙවන්න   ඕනෙ නෑ. වෙද මහත්තුරු කරන්න තියෙන සේරම කළා නෙව.. ඒක හන්දා දරුවට තෙරුවන් සරණයි කියලා හිතාගෙන මතේ අප්පු කියන අත් බේතත් කරලා බලමුකෝ..’’ 

කියලා. අසරණ වෙලා උන්නු දරුවගෙ අම්මයි, තාත්තයි අන්තිමට ඒකට කැමැත්ත දුන්නා.

ගෙදර වට වෙලා උන්නු ගමේ පිරිස කලබලෙන් උවමනා කරන බේත් පැලෑටි කිහිපය හොයාගෙන ඇවිත් මතේ අප්පු කිව්ව බෙහෙත ඉක්මණින්ම හදලා දරුවගෙ කට ඇරලා අමාරුවෙන් දරුවට පෙව්වා. බොහොම ටික වෙලාවයි ගියෙ දරුවා ඇස් දෙක ඇරලා අඞන්න පටන් ගත්තා. මතේ අප්පු කිවුවා 

‘‘ දැන් දරුවට මොනා හරි ආහාරයක් පොවන්න’’ 

කියලා. ඉස්සර කාලෙ සීයා කළෙත් එහෙමයි කියලා මතේ අප්පුට මතක් වෙලා තිබුනා. ගෙදර කුස්සියට ගිය කාන්තාවො කීප දෙනෙක් ඉක්මණට ලූණු කැද ටිකක් හදාගෙන ඇවිත් දරුවට පෙව්වා. ගමේ හැමෝවම පුදුම කරමින් දරුවා නැගිට්ටා. දවසකින් දෙකකින් දරුවට හොදටම සනීප වුනා. ඊට පස්සෙ ගමේ කවුරුත් කතා වුනා  ‘‘ අසීරුවට මතේ අප්පුත් වෙද රාළ කෙනෙක් වුනා එහෙනං..’’  කියලා. පහු කාලෙක මේ කියමන අපේ පැරණි හෙළ පිරුළක් බවට පත් වුනා.

මේ පිරුළෙන් කියවෙන්නෙ දුවේ පුතේ හැම දේටම, හැම වෙලාවෙම දැන උගත් අයගෙන්ම පමණක් උපදෙස් ගන්නවාට වඩා, ඇතැම් විට පොත පතින් උගත් කමක් නැති බොහෝ දෙනා ළග උගත් අයට වඩා අත්දැකීමෙන් ලබා ගත් දැනුම තියෙන්නට පුළුවන්... ඒක හන්දා අපේ සමාජයේ ඉන්න කොයි කාගෙත් අදහස් ඉවත දාන්නෙ නැතුව ඒවා ගැනත් සැළකිල්ලක් දක්වන්න   ඕනෙ කියන එකයි. ඒක එහෙම නේද දුවේ.. පුතේ..

No comments:

Post a Comment