අඞුව තියෙද්දි අත පුච්චා ගත්තා වගෙයි
ඔන්න පුතේ දුවේ, අපි කාටත් බොහෝම ආදර්ශමත් කියමනක් තමා මේ අඞුව තියෙද්දි අත පුච්චා ගත්තා වාගේ කියන කියමන . දැන් ඔය දුවලා පුතාලා දන්නවා නේද කම්මල ගැන. කම්මල කියලා කියන්නෙ අපේ ගෙදර දොර වැඩ වලදි නිතරම ඕනැ කරන යකඩ ආයුධ හදන, ඒ වගේම ඒවායේ මුවහත නැති උනාම ආයෙත් හොදට මුවහත් කරලා අළුත්වැඩියා කරලා දෙන තැන. අපේ පිහියා, කැත්ත, උදැල්ල, පොරොව මේ සේරෝම අපිට හදලා දෙන්නෙ කම්මලකින් තමා. හැබැයි ඒ ආයුධ හරි හැටි කැපෙන්නෙ නැති උනාම අපි ඒවා කම්මලට ගිහින් දෙනවා. මොකටද.. මුවහත හොදට හදලා කැපෙන විදියට හදලා දෙන්න. ඉතින් දූලා පුතාලා දන්නවද ඔය යකඩ ආයුධ ආපහු මුවහත හිටින්න හදන්න ඕනෙ උනාම කම්මලේ බාස් උන්නැහේ ඒ ආයුදේ ආපහු පොල්කටු අගුරු ගින්නට දාලා ගිණියම් වෙනකල්, ඒ කියන්නෙ ගිණි අගුරක් වාගෙ රතු පාට වෙනකල් රත් කරනවා. එයිට පස්සෙ ඒක ගින්දරෙන් එළියට අරගෙන, කිණිහිර කියලා කියන යකඩ කුට්ටියක් වගේ තැනක තියලා ලොකු මිටියකින් ආයුදේට තලලා තලලා කැපෙන දාරය තුනී වෙනකල්ම තලනවා.
ඔන්න එකෝමත් එක ගමක කම්මලක් තිබුනලූ. ඒකෙ කම්මල් බාස් උන්නැහේට අත් උදව් කරලා දෙන්න ඈත පළාතකින් ආව ගෝලයෙකුත් හිටියලූ. මේ ගෝලයා ඩිංගක් විතර මෝඩයි ලූ. ඒ කියන්නෙ යමක් කිව්වාම එවෙලේම එය කරනවා මිසක් නිවැරදි පිළිවෙලටම කරන්නෙ නැතිලූ. ඉතින් ඔය කම්මලටත් ගමේ යකඩ ආයුධ කීපයක්ම ගෙනැවිත් දීලා තිබුනලූ තලලා, මුවහත තියලා දෙන්නය කියලා. ඉතින් කම්මල් බාස් උන්නැහේත් පොල්කටු අගුරු ලිප පත්තු කරලාි මයින හම’ කියලා කියන ලිපට හුළං පිඹින උපකරණෙන් හුලං ටිකක් යහමෙට ගහලා යකඩෙ ගිණියම් කලාලූ. ගෝලයා තමා මයින හම උඩට , පාතට කරන්නෙ. එතකොට හුළං වැදිලා යකඩෙ රතුපාටින් දිළිසෙන්න පටන් ගත්තලූ. දැන් ඉතින් කම්මල් බාස් උන්නැහේ ‘‘ මෙන්න මේක තලන්න අරන් වරෙංකො කිණිහිරේ ගාවට..’’ කියලා ගෝලයට වැඬේ පවරලා, මිටියත් අරං ගිහින් කිණිහිරේ ගාව බලාන ඉන්නවලූ.
එක පාරටම අර ගෝලයා මහ හඞින් කෑ ගහගෙන මිදුලටත් පැනලා කෑ ගගහා ගේ වටේ දුවන්න පටන් ගත්තලූ. කම්මල් බාස් උන්නැහේ ගිහින් බලන කොට ගෝලයගෙ අත් දෙකම හොදටෝම පිළිස්සිලාලූ. හොයලා බලන කොට මොකද්ද දන්නවද වෙලා තියෙන්නෙ. ගෝලයා අර ගිණිරතු පාටට ගිණියම් වුනු යකඩ ආයුදේ කිණිහිරේ ළගට අරන් යන්න හදලා තියෙන්නේ ‘අතින් අල්ලගෙන’ . මදි නෑ නේද දුවේ පුතේ උන්දැ කරාපු මෝඩකම. ඇයි දෙයියනේ ඒ රත්කරපු යකඩ අල්ලගන්න ලොකු අඞුවක් තියෙනවා. ඒකෙන් තමා රත්කරපු ආයුධ තලන්න කිණිහිරේට අරගෙන යන්නෙ. ඉතින් ඒ අඞුව තියෙද්දි මේ මෝඩ මනුස්සයා මොකද කරලා තියෙන්නෙ.. ගිණියම් යකඩෙ අතින් අල්ලන්න ගිහින් .. අත පුච්චගෙන.
ඉතින් දුවේ පුතේ, යමක් නිවැරදිව ආරක්ෂිතව කරන්න නියමිත ක්රමයක් තියෙද්දි, තමුන් අනාරක්ෂිතව ඒ දේ කරන්න ගිහින් අනතුරකට, වේදනාවකට පත්වුනාම තමයි අපි කියන්නෙ ‘‘ ඒ මනුස්සයා ඉතින් අඞුව තියෙද්දි අත පුච්චගන්න ගිහින් නෙව.. ඔය කරදරේ වැටුනෙ..’’ කියලා.
No comments:
Post a Comment