රූපවාහිනියේ අතීත කතාව






රූපවාහිනියේ අතීත කතාව


ගුවන් විදුලිය ලොව පුරා ජනප්‍රිය වීමත් සමග ජනතාව හඞ ප්‍රමුඛ කර ගත් සන්නිවේදන ලොවක සතුටු වෙමින් සිටියහ. තඹ කම්බියක් දිගේ හෝ ගුවන්විදුලි තරංගයක් ඔස්සේ රුවක් දකින්නට ලැබේවි යැයි ඔවුන් කිසිවිටෙකත් නොසිතන්නට ඇත. එහෙත් දුරකතනය සොයාගත් යුගයේ ම එනම් 19 වන සියවසේ මුල් භාගයේදී ම දුරකතන රැහැන් ඔස්සේම අකුරු හෝ ඡායාරූපයක පිටපතක් තවත් තැනකට යවන්නට සන්නිවේදන ඉංජිනේරුවෝ සමත් වූහ. අද අප ‘ ෆැක්ස්’ (Fax) යනුවෙන් හදුන්වන ‘ ෆැක්සිමයිල්’ (Facsimile) ක්‍රමය විවිධ පර්යේෂණ රැසක ප්‍රතිපලයකි.
විවිධ තාක්ෂණික විද්‍යාඥයන් විසින් එහි මූලික සොයාගැනීම් කළ ද 1843 – 1846 කාලය තුළ දී ෆැක්ස් ක්‍රමයේ වැඩි දියුණු කිරීම් හා පර්යේෂණාත්මක ප්‍රදර්ශන සිදු කරනු ලැබුවේ ඇලෙක්සැන්ඩර් බේයින් (Alexander Bain) විසිනි. ඔහු ලොව මුල් වරට ෆැක්ස් යන්ත්‍රය හදුන්වා දුන් පුද්ගලයා ලෙස ඉතිහාස ගත වූ අතර 1843 මැයි 27 වන දින එයට අදාල පේටන්ට් බලපත්‍රය ද ලබා ගෙන ඇත. එහෙත් ඉන් පසුව ද වඩාත් පැහැදිලි ලෙස සටහන් හා රූප කම්බි දිගේ යැවීමේ ක්‍රම විවිධ පුද්ගලයන් විසින් අත්හදා බලන ලද අතර කෙමෙන් කෙමෙන් වඩා ඉතා පැහැදිලි
ඇලෙක්සැක්ඩර් බේන් - Alexander Bain
රූප එක් ස්කෑන් යන්ත්‍රයක් ඔස්සේ ලබා ගෙන එය තඹ කම්බි දිගේ එක් තැනක සිට සැතපුම් දහස් ගණනක් ඈත තැනකට ගොස් එතැන ඇති මුද්‍රණ යන්ත්‍රයකින් පිටපතක් සේ මුද්‍රණය කර ගැනීම සාර්ථක ක්‍රමයක් විය. මේ අයුරින්ම ෆැක්ස් පණිවුඩ තඹ කම්බි ඔස්සේ නොව රැහැන් නොමැති ගුවන්විදුලි පණිවුඩ සේ යවන්නට ද විද්‍යාඥයන් සමත් වීමත් සමග චලන රූපයක් ඒ අයුරින් එක් යන්ත්‍රයක සිට තවත් යන්ත්‍රයකට යැවීමේ උනන්දුව ඇති විය.

කළු-සුදු චලන රුවක් ගුවනින් යයි
ඒ අනුව බොහෝ විද්‍යාඥයන් විසින් නොයෙකුත් පර්යේශන සිදු කරන ලද අතර, රුවක් සංඥාවක් බවට පත් කිරීමේ ‘ ස්කෑන්’ ක්‍රම වේදයන් කෙමෙන් වඩා දියුණු තත්වයට ගෙන ඒමට ඔවුහු උත්සාහ ගත්හ. මේ කාලය වන විටම සොයා ගත් ‘ සෙලේනියම්’( Selenium –Se ) මූල ද්‍රව්‍යය ද මෙම රූප විකාශය කිරීමේ තාක්ෂණය සදහා


ජෝන් ලුගී බෙයාර්ඩ්’ (John Logie Baird)
උපයෝගී කර ගත් අතර, ප්‍රායෝගික ලෙස චලනය වන රූප විකාශය කිරීමේ ක්‍රමවේදයක් ස්කොට්ලන්ත ජාතික ‘ ජෝන් ලුගී බෙයාර්ඩ්’ (John Logie Baird) විසින් 1920 දී නිල වශයෙන් හදුන්වා දෙන ලදී. ඒ අනුව රූපවාහිනී විකාශය කිරීමේ ක්‍රමය ලොවට නිල වශයෙන් හදුන්වා දුන් විද්‍යාඥයා ලෙස ඔහු ඉතිහාසයට එක් වී ඇත.

රූපවාහිනිය වර්ණ ගැන්වෙයි.
ඔහුගේ මෙම රූපවාහිනී විකාශය කළු-සුදු විකාශයක් වූ අතර ඒ වන විටත් වර්ණ කීපයක් විකාශය කිරීමට නොයෙකුත් විද්‍යාඥයන්ගේ උත්සාහයන් සාර්ථක වී තිබුනි. 1897 දී පෝලන්ත ජාතික විද්‍යාඥයෙකු වූ ජාන් ස්චෙපනික් ‘ (Jan Szczepanik ) වර්ණ රූපවාහිනී විකාශ යන්ත්‍රයක් සදහා පේටන්ට් බලපත්‍රයක් හිමිකර ගෙන තිබුනි.
බෙයාර්ඩ් විසින් රූපවාහිනී තිරයක පෙන්වූ සළමු චලන රූපය
ඔහුගේ ව්‍යාපාර සහායක ඔලිවර් හචින්සන්

එහෙත් එය වර්ණාවලියට අයත් සියළු වර්ණ විකාශය කිරීමට හැකි සාර්ථක ක්‍රමවේදයක් නොවූ බැවින් තවත් බොහෝ දෙනා ඒ පිළිබදව පර්යේශන කරමින් සිටියෝය. ඒ අතුරෙන් තවත් විද්‍යාඥයෙකු වූ ‘හොවනිස් අඩමියන්’ (Hovannes Adamian) 1907 වන විට පෙරට වඩා දියුණු වර්ණ රූපවාහිනී විකාශන ක්‍රමයක් සොයා ගත් අතර, එය වර්ණ රූපවාහියේ ලොව ප්‍රථම ව්‍යාපෘතිය ලෙස පේටන්ට් බලපත්‍ර හිමි කර ගෙන ඇත. 
එහෙත් වර්ණාවලියේ අඩංගු වර්ණ වලින් රූප පෙනෙන ආකාරයට ලොව ප්‍රථම රූපවාහිනී වැඩ සටහන් විකාශයක් ආරම්භ කරන ලද්දේ රූපවාහිනිය ලොවට හදුන්වා දුන් ජෝන් ලුගී බෙයාර්ඩ් විසින්ම ය. 1928 ජූලි මස 3 වන දින ඔහු එම විකාශය ලොවට හදුන්වා දුන් අතර, වඩාත්ම තියුනු රුව දර්ශනයක් ඇතිව පේලි 120 කින් (120-line image) ඇතිව ලොව ප්‍රථම වර්ණ රූපවාහිනී විකාශය ද බෙයාර්ඩ් විසින් ම 1938 පෙබරවාරි 4 වන දින ආරම්භ කරන ලදී. මේ අතර ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ‘ ජෙනරල් ඉලෙක්ට්‍රික් පහසුකම ලබමින් ඩබ්ලිව්ආර්ජීබී ( WRGB  පසු කලෙක W2XB) නමින් ලොව ප්‍රථම රූපවාහිනී විකාශන මධ්‍යස්ථානය 1928 දී ආරම්භ කර ඇත.

ඩිජිටල් රූපවාහිනී සේවා ඇරඹෙයි.
1990 දශකය වන විට ලොව වඩාත්ම ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යය බවට පත් වන්නේ රූපවාහිනිය යි. ඒ වන විට පණිවුඩ හුවමාරු චන්ද්‍රිකා මගින් ලොව පුරා ඕනෑම රටකට සැනෙකින් සජීව වැඩ සටහන් විකාශය කිරීමේ හැකියාව රූපවාහිනිය අත්පත් කර ගෙන තිබුනි. එමෙන්ම රූපවාහිනී නාලිකා ප්‍රමාණය ද වේගයෙන් ඉහල යමින් පැවතින. එබැවින් අළුතෙන් ඇරඹෙන රූපවාහිනී ආයතන වෙනුවෙන් තරංග සංඛ්‍යාත වෙන් කර දීම බරපතල ගැටළුවක් වී තිබුනි.

ඒ වන විට වීඑච්එෆ් රූපවාහිනී සේවා සදහා සංඛ්‍යාත (VHF TELEVISION FREQUENCIES) අංක 02 සිට 13 දක්වාත් ( එනම් මෙගා හර්ට්ස් 54 සිට 216 දක්වා ත්) , යූඑච්එෆ් රූපවාහිනී සේවා සදහා සංඛ්‍යාත (UHF TELEVISION FREQUENCIES) අංක 14 සිට 83 දක්වාත් ( එනම් මෙගා හර්ට්ස් 470 සිට 890 දක්වාත්) තිබූ සියල්ල තවත් මධ්‍යස්ථාන වලට දීමට නොහැකි ලෙස සියල්ල අවසන්ව තිබින. එබැවින් එක් සංඛ්‍යාතයකින් නාලිකා කිහිපයක් විකාශය කිරීමේ හැකියාවක් පිළිබදව සියළු රටවල් පර්යේෂණ පවත්වන්නට විය. එහි ප්‍රතිපලයක් ලෙස ඉරි 1080 ක් හා වර්ග අගලකට රූප තිත් 1920 ක් සහිත ඩිජිටල් විකාශන ක්‍රමය හදුන්වා දුන් අතර මැසචුසෙට්ස් හි  තාක්ෂණ ආයතනයේ  අධ්‍යක්ෂ විලියම් එෆ් ෂ්රෙයිබර් එහි පුරෝගාමියෙකු ලෙස කටයුතු කර ඇත. මෙම ඩිජිටල් ක්‍රමය යටතේ වඩාත් තියුණු , පැහැදිලි රූ දසුන් රූපවාහිනී මගින් විකාශය කිරීමට හැකි විය. ඒ අනුව ලොව බොහෝ රටවල රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදන සමාගම් ඩිජිටල් රූපවාහිනී උපකරන නිෂ්පාදනය කිරීම අරඹා ඇත.
ඩිජිටල් රූපවාහිනී ක්‍රමය යටතේ එක් සංඛ්‍යාතයක් ඔස්සේ නාලිකා රැසක් විකාශය කළ හැකි වූ අතර, නරඹන්නාගේ කෙළවර ඇති නාලිකා වෙන් කර බෙදා රූපවාහිනිය තුළට යැවීමට උපකාරී වන තාක්ෂණික උපාංගයක් මගින් දුරස්ථ පාලකයක් ඔස්සේ තමන් කැමති නාලිකාව තෝරා නැරඹීමේ හැකියාව නරඹන්නා ට ලබා දෙයි. මේ අනුව ලොව සියළුම රටවල් වසර 2010 වන විට තම රටවල ඇති ‘ ඇනලොග්’ රූපවාහිනී විකාශ නවතා දමා ‘ ඩිජිටල්’ රූපවාහිනී විකාශන ක්‍රමය හදුන්වා දීමට කටයුතු කර ඇත. මේ වන විට මුළු ලොවම ඩිජිටල් ක්‍රමයට තම රූපවාහිනී වැඩ සටහන් විකාශය කරයි.
අන්තර්ජාලයට රිංගන ස්මාර්ට් රූපවාහිනී නිවෙස් ආක්‍රමණය කරයි
වසර 2000 පමණ වන විට අන්තර්ජාලය ලොව ආක්‍රමණය කරමින් වඩාත් සිත් ගත් පහසුම සන්නිවේදන පහසුකම් සපයා දෙන්නෙකු බවට පත් විය. ඒ හේතුවෙන් බොහෝ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා මෙන්ම දහස් ගණනක් විවිධ චිත්‍රපට හා වෙනත් වැඩ සටහන් විඩියෝ තාක්ෂණයෙන් අන්තර්ජාලය තුළ තැන්පත් විය. විශේෂයෙන් යූටියුබ් වැනි ආයතන ඕනෑම ශිෂ්ඨ සම්පන්න විඩියෝවක් නොමිලයේ ම තැන්පත් කර තැබීමේ පහසුකම සළසා දුනි. එම නිසා මිලියන ගණනක් ලෝ වැසියෝ අන්තර්ජාලය හරහා විවිධ විඩියෝ නරඹන්නට හුරු පුරුදු වූහ. මේ හේතුවෙන් සාමාන්‍ය රූපවාහිනී යන්ත්‍ර වලින් ග්‍රහණය කර ගත හැකි සංඥා වෙනුවෙන් ඉන් ඔබ්බට අන්තර්ජාලයට ද ප්‍රවිශ්ඨ වී එහි ඇති විඩියෝ නැරඹීමේ පහසුකම ඇති රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාව එම සමාගම් වලට තදින්ම දැනුනි. එහි ප්‍රතිපලයක් ලෙස පළමු ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රය වෙනුවෙන් 1994 දී පේටන්ට් බලපත්‍රයක් නිකුත් කර ඇති අතර, ඊළග වසර වන විට ලොව සියළුම රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදන සමාගම් ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය ආරම්භ කර ඇත.
සවීවී රූප ගෙන එන ත්‍රිමාණ රූපවාහිනිය
රූපයක් ත්‍රිමාණ ලෙස තිරය මත පෙනෙන ත්‍රිමාණ රූපවාහිනී (3D television) මෑතක ජනප්‍රිය වුවද, ලොව මුල් වරට ත්‍රිමාණ ආකාරයෙන් පෙනෙන රූපවාහිනි දර්ශනයක් ලොව මුල් වරට මහජන ප්‍රදර්ශනයක් සදහා ඉදිරිපත් කර ඇත්තේ 1928 අගෝස්තු මස 10 වන දාය. එය ද ජෝන් ලුගී බෙයාඩ් විසින් ලන්ඩනයේ පිහිටි තම සමාගමේ දී නිර්මාණය කළ තවත් විස්කම කි. නමුත් ප්‍රථම ත්‍රිමාණ රූපවාහිනී යන්ත්‍රය නිෂ්පාදනය කොට ඇත්තේ 1935 දීය. ත්‍රිමාණ දර්ශන නැරඹීම සදහා විශේෂිත වූ රතු හා නිල් පැහැයෙන් හෙබි වීදුරු සහිත ඇසට පළදනා කණ්නාඩි විශේෂයක් අවශ්‍ය විය. පසුව වීදුරු වෙනුවට ප්ලාස්ටික් තහඩු උපයෝගී කර ගන්නා ලදී.
මෙම ත්‍රිමාණ ආකාරයෙන් පෙනෙන රූපවාහිනී වඩාත් ජනප්‍රිය වූයේ වසර 2000 න් පසුව වන අතර , ඒ වන විට ඩිජිටල් ටීවී , බ්ලූ රේ පටිගත කිරීම් ආදිය ජනප්‍රිය  වූ බැවින් නිවෙස් තුළ සිට විවිධ රූපවාහිනී චිත්‍රපට ආදිය නැරඹීම සදහා ඉතා ජනප්‍රිය විනෝදාත්මක උපාංගයක් ලෙස ත්‍රිමාණ රූපවාහිනිය අලෙවි විය. ත්‍රිමාණ වැඩ සටහන් නිෂ්පාදනය වුව ද ඒවා එතරම් ජනතාව අතර පැතිරී ගිය ජනප්‍රියතාවක් ලබා ගත්තේ නැත. 2010 මුල භාගයේ ආරම්භ කරන ලද බොහොමයක් ත්‍රිමාණ රූපවාහිනී නාලිකා 2010 මැද භාගය වන විටම වැසී ගියේය. 2015 පමණ වන විට විශේෂිත කණ්නාඩි වර්ගය පළදින්නේ නැතිව කෙළින්ම තිරයේ ත්‍රිමාණ දර්ශන පෙනෙන ආකාරයේ රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය වුව ද ඒවා අද ඉතා මිළ අධික භාණ්ඩ බවට පත්වී තිබේ.
ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආරම්භය
1970 දශකය වන විය යුරෝපය මෙන්ම ජපානය, සිංගප්පූරුව වැනි දියුණු ආසියාතික රට වල පවා ජනතාවට රූපවාහිනිය තම නිවෙස් වල සාමාන්‍ය මෙවලමක් බවට පත්වී තිබුනද, අපේ රටට එය දැකගැනීමට තිබූ උපකරණයක් ව නොතිබින. 1965 කොළඹ තුරග තරග පිටියේ පැවැත් කර්මාන්ත ප්‍රදර්ශන භූමියේ ඇමරිකානු ප්‍රදර්ශන කුටිය තුළ රූපවාහිනී දර්ශන තුබූ අයුරුත් , එම කුටිය හරහා යන අය වෙත යොමු කර තිබූ කැමරාවක් මගින් එය පසු කර යන අයගේ රුව රූපවාහිනී තිර මත දර්ශනය වූ අයුරුත් අපූරු අත්දැකීමක් විය.
ශ්‍රී ලංකාවට රූපවාහිනී සේවයක් ලබා දෙන්නට 1965-70 ඩඩ්ලි සේනානායක අගමැති වරයා ගේ පාලන කාලය තුළ ජර්මනිය සමග සාකච්ඡාවක් පවත්වා තිබූ අතර එය මල් පල ගැන්වී තිබුනේ නැත. 1970 බලයට පත් සිරිමාවෝ කණ්ඩාරනායක මැතිණිය ගේ පාලන කාලය තුළ යුගෝස්ලාවියාවෙන් රූපවාහිනී සේවාවක් ලබා ගැනීමට උත්සාහයක යෙදී තිබුන අතර එයද අසාර්ථක විය. මේ කාලය වන විට දිවයිනේ බොහෝ දෙනා රූපවාහිනී තාක්ෂණය පිළිබදව කතා කළහ.  යුරෝපීය හෝ ජපාන, සිංගප්පුරු සංචාර සදහා ගිය ව්‍යාපාරිකයන් එහි තිබූ රූපවාහිනී යන්ත්‍ර දැක තමාටද ඇති වූ කැමැත්ත නිසා ආපසු එන විට ඒවායින් එකක් රැගෙන එන්නට පුරුදු වූහ. ඇතැම් ජපාන ගුවන්විදුලි යන්ත්‍ර ‘ත්‍රී ඉන් වන් ’ ක්‍රමයට එකළස් කර තිබූ අතර, එහි රේඩියෝවක්, කැසට් ධාවන යන්ත්‍රයක් හා අගල් 6 ප්‍රමාණයේ කළු-සුදු රූපවාහිනී තිරයක් තිබින. රේඩියෝවත්, කැසට් වාදන යන්ත්‍රයක් ප්‍රයෝජනයට ගත් අතර රූපවාහිනී තිරය නිකම්ම කළු සුදු තිත් තිත් මතුවන දර්ශනයකින් හා ‘ සූ ‘හඞකින් යුතු මෙවලමක් විය. රූපවාහිනී යන්ත්‍ර නිවසක තිබුනා නම් එය කළු-සුදු වර්ගයේ එකක් විය. මෙම රූපවාහිනී තිර මතට රුවක් ලබා ගන්නට බොහෝ ඉලෙක්ට්‍රොනික කාර්මිකයෝ පර්යේෂණ කරමින් උන්හ.
මේ වන විට ආධුනික රේඩියෝ උපකරණ තුළින් ලොවට සම්බන්ධව සිටි මාගේ ද මිතුරෙකු වූ කිරුළපන පදිංචි වසන්ත ගුරුගේ නම් වූ තරුණයා දැවැන්ත ලෙස තැනූ දීසි ඇන්ටෙනාවක් ( Dish Antenna ) තම නිවසේ සවිකර සෝවියට් චන්ද්‍රිකාවක් ඔස්සේ විසුරුවා හැරි වර්ණ රූපවාහිනී දර්ශන තම නිවසේ නරඹමින්  සිටියේය. එය අළුත් අත්දැකීමක් වූ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල හිතවතුන් ගැල්වනයිස් බට නවා, කුකුළු කූඩු දැල් අතුරා සකස් කළ දීසි ඇන්ටෙනා මගින් විවිධ චන්ද්‍රිකා වලින් විකාශය කරන රූපවාහිනී දර්ශන නරඹමින් සිටිනු දකින්ට ලැබින. මේ අතර ලන්ඩනයේ රූපවාහිනී තාක්ෂණය පිළිබදව හදාරා තිබූ ෂාන් වික්‍රමසිංහ තරුණයාට රූපවාහිනී
නිවසක තනා ගත් දීසි ඇන්ටෙනාවක්
විකාශයක් අරඹන්නට ඉමහත් ආසාවක් ඇති විය. තම ශිල්ප දැනුම විවිධ රේඩියෝ උපකරණ හා තඹ කම්බි සමග එකතු කළ ශාන් ට රූපවාහිනී විකාශයක් කිරීමේ හැකියාව ඇති විය. රජයෙන් නිසි අවසරයක් නොලැබුන නමුදු තම මිතුරෙකු වූ අනිල් විජේවර්ධන සමග එකතුව ‘ මිතුරන් අතරේ පමණක්’ සීමා වූ  විවිධ රූපවාහිනි විකාශන අත්හදා බලන්නට  ෂාන් වික‍්‍රමසිංහත් , අනිල් විජේවර්ධනත් සමත් වූ අතර, ඔවුනොවුන් ගේ නිවෙස් අතර රූපවාහිනිය නරඹමින් මේ තරුණ පිරිස සතුටු වූහ.
1976 අගෝස්තුවේ පැවැති නොබැඳි ජාතීන්ගේ සමුළුව ආවරණය කොට කොළඹ අවට සැතපුම් දහයක් පමණ දුර පෙනෙන පරිදි වැඩසටහන් විකාශයට ශාන් වික‍්‍රමසිංහ ඇතුළු පිරිස සමත් වූහ. ඒ වන විට කොළඹ අවට තම නිවෙස් තුළ රූපවාහිනී යන්ත්‍ර සවිකර තිබූ සීමිත පිරිසක් මෙම වැඩ සටහන් නරඹා ඇත. 1977 ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව බලයට පත් වීමත් සමග ෂාන් වික්‍රමසිංහයන් පෞද්ගලික රූපවාහිනී සේවාවක් ආරම්භ කිරීමට රජයෙන් අවසර ඉල්ලා සිටි නමුදු එම අවසරය එකවරම ලැබෙන්නේ නැත. ඒ වන විට ජපානයෙන් ශ්‍රී ලංකාවට රූපවාහිනී සේවාවක් ලබා දීම සදහා ගිවිසුම් සකස් කරමින් සිටි නිසා ෂාන් ගේ ඉල්ලීම සළකා බැලීමට පමණක් ජේ ආර් අගමැතිවරයා පොරොන්දු විය. පසුව පෞද්ගලික රූපවාහියක් අරඹන්නට කැමැති අය වෙතොත් ඒ අයට ඉල්ලුම් කරන්නට අවස්ථාවක් ලබා දෙන ලදී. ආයතන ගණනාවත් ඉල්ලුම් කළ ද ෂාන් වික්‍රමසිංහ ට හා මොරිස් රෝච් සමාගමට අවසර ලැබින. රජයේ නියෝගය අනුව 1979 ජනවාරි 15 දිනට පෙර ඇප මුදල් තැන්පත් කොට වැඩ අරඹන්නට ෂාන් වික්‍රමසිංහයන් කටයුතු කළේය. ෂාන් වික්‍රමසිංහ, අනිල් විජේවර්ධන හා ඇමරිකානු ජාතිකයෙකු වූ බොබ් ක්‍රිස්ටි නව ආයතනයේ අධ්‍යක්ෂවරු වූහ.  පෑල් (PAL) ක්‍රමය අනුව විකාශන කටයුතු සූදානම් කළ අතර සිංගප්පූරුවෙන් අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපකරණ ඇණවුම් කරන ලදී. මාර්තු මාසය ද ගෙවී යන තෙක් ඇණවුම් කළ කිසිදු උපකරණයක් ලැබී නොතිබුනි.
ස්වාධීන රූපවාහිනී සේවය ඇරඹෙයි
විකාශන කුළුනක් සවි කරන ස්ථානයක් ගැනවත් තීරණයක් නොමැතිව සිටිය දී 1979 අප්‍රේල් 13 වන දා ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී සේවාව ආරම්භ කරන බව රජය නිවේදනය කරන ලදී. කොළඹ විවිධ උස් ගොඩනැගිලි මත විකාශන ඇන්ටෙන්ව සවි කරන්නට උත්සාහ කළ ද එය අසාර්ථක වූයෙන්, පන්නිපිටියේ , මහල්වරාව ප්‍රදේශයේ ඇන්ටෙනා කුළුන සවි කරන්නට තීරණය විය.
ආරම්භ කෙරෙන නව රූපවාහිනී විකාශය අයි ටී එන් හෙවත් ස්වාධීන රූපවාහිනී සේවයලෙස නම් කරන්නට තීරණය වුනි. අප්‍රියෙල් 1 වන දා වන විටත් ඇණවුම් කළ භාණ්ඩ ලැබෙමින් පැවතින. පන්නිපිටියේ විකාශන කුළුන අසල ඉදි කර ගත් කුඩා ගරාජයක් වැනි කුටියක උපකරණ සවි කරන ලදී. අප්‍රියෙල් 13 වනදා උදා වන විට ද ඇන්ටෙනා සවි කරමින් තිබුනි. කෙසේ හෝ සවස 6.35 වන විට ප්‍රථම වැඩ සටහන ගුවන් ගත කරන්නට ෂාන් වික්‍රමසිංහයන් ඇතුළු කණ්ඩායමට හැකි විය.









පන්නිපිටිය, මහල්වරාව ඉදිකළ පළමු
ස්වාධීන රූපවාහිනී විකාශන ස්ථානය

ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී විකාශය ලෙස ‘ ස්වාධීන රූපවාහිනී සේවය ‘ ඉතිහාසයට එක් කරමිනි. එහි වාකාශන බලය කිලෝ වොට් එකකි. කොළඹ සිට සැතපුම් 15 ක පමණ දුරකට හඞ-රුව විකාශය විය. එහෙත් මෙම  ස්වාධින රූපවාහිනි විකාශයට ආයුෂ තිබුණේ දින 52 ක් පමණි. කොටස් කරුවන් අතර වූ ආරවුල් හා කාර්මික දෝෂයක් හේතුවෙන් විකාශන කටයුතු නැවතින.
ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආයතන සදහා ද බලපත්‍ර නිකුත් කරනුයේ ගුවන් විදුලි සංස්ථා පනත යටතේ වන අතර එහි වැදගත්ම කොන්දේසියක් වන්නේ “ විකාශය ආරම්භ කළ මොහොතේ පටන් අඛණ්ඩය විකාශය විය යුතුය. එම විකාශය පැය 24 කට වැඩි කාලයක් නතර වී තිබෙන්නට නොහැක. “ යන්නය. ස්වාධීන රූපවාහිනිය පැය 24 කට වඩා නැවතී තිබින. එම වරදට  1979 ජුනි 5 වැනි දින රාත‍්‍රී ගැසට් නිවේදයක් මඟින් ස්වාධින රූපවාහිනි සේවය රජයට පවරාගන්නා ලදී. පසුව එය ‘රජයට පවරා ගන්නා ලද ස්වාධීන රූපවාහිනී සේවය’ ලෙස නම් කෙරුනු අතර, පසු කළෙක නැවත ‘ ස්වාධීන රූපවාහිනී සේවය’ ලෙස නම් කරන ලදී. 2016 සැප්තැම්බර් මාසයේ සිට නැවත ‘අයිටීඑන් ටීවී’ ලෙස නම් කරන ලදී. මේ වන විට ෂාන් වික්‍රමසිංහ මහතා ටෙලිෂාන් ලිමිටඩ්ලෙස තනි සමාගමක් ආරම්භ කොට නැවත රූපවාහිනී සේවයක් ආරම්භ කරන ලද අතර, එය ‘ටීඑන්එල්’ රූපවාහිනිය ලෙස නම් කෙරින.
ජාතික රූපවාහිනි යේ ආරම්භය
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී සේවය වූ ස්වාධීන රූපවාහිනිය ආරම්භ වී වසර 3 ක් ගෙවී යනවාත් සමග ශ්‍රී ලංකාවේ දෙවන රූපවාහිනී සේවය ලෙස ‘ ජාතික රූපවාහිනිය’ ආරම්භ විය. ජේ ආර් ජයවර්ධන රජයට ජපානයෙන් ලැබෙන තිළිණයක් ලෙස මෙහි උපකරණ හා විකාශන කුළුණු ලැබුනු අතර විකාශන මධ්‍යස්ථානය කොළඹ ටොරින්ටන් චතුරස්‍රය විය. ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවට මුහුණ ලා ඉදිකෙරුනු නව ගොඩනැගිලි සංකීර්ණයක ජපාන ඉංජිනේරුවන් විසින් රූපවාහිනී උපකරණ සවි කරන ලදී. විකාශන ඇන්ටෙනාව ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වූ පිදුරුතලාගල කන්ද මුදනේ සවි කරන ලදී. 1982 ජනවාරි 23 දරණ ජාතික රූපවාහිනී පණත යටතේ මෙම සේවය පිහිටුවන ලදී. ජාතික රූපවාහිනිය ආයතනයක් ලෙස ස්ථාපනය කෙරුනේ 1982 පෙබරවාරි 14 වනදා වන අතර ඊට පසුදා එනම් 1982 පෙබරවාරි 15 වන දා ජාතික රූපවාහිනි යේ විකාශන කටයුතු ආරම්භ කරන ලදී. ප්‍රථමයෙන් විකාශනය කරන ලද්දේ එවකට ජනාධිපති ධූරය දැරූ ජේ ආර් ජයවර්ධන මහතා ගේ කථාවකි. ආරම්භයේ දී එහි විකාශය කෙරුනේ සිංහල වැඩ සටහන් වේ.
1999 අප්‍රියෙල් මාසයේ දී රූපවාහිනී-2 යනුවෙන් අමතර නාලිකාවක් ආරම්භ කළ අතර,  එය 2000 වසරේ අගෝස්තු මාසයේ දී ‘ චැනල් අයි ‘ ලෙස වෙනස් කොට සිංහල, ඉංග්‍රීසි හා ද්‍රවිඩ යන භාෂා වලින් වැඩ සටහන් විකාශය කිරීම ආරම්භ කෙරින. පසුව ‘ චැනල් අයි’ ඉංග්‍රීසි වැඩ සටහන් සදහා ද,  2008 ජනවාරි 1 වනදා අළුතෙන් ආරම්භ කරන ලද ‘නේත්‍රා ටීවී’ ද්‍රවිඩ වැඩ සටහන් සදහාත් යොදා ගන්නා ලදී.
රූපවාහිනී සේවා පෞද්ගලික වී චන්ද්‍රිකා යුගයට පිවිසෙයි
පෞද්ගලික නාලිකා ඇරඹීමට අවසර ලැබෙනවාත් සමග විවිධ සමාගම් විසින් ඒ වන විට පවත්වා ගෙන ගිය තම ගුවන්විදුලි නාලිකා වලට අනුබද්ධව නව රූපවාහිනී නාලිකා ආරම්භ කරන ලදී. ඒ අනුව  ‘සිරස ටීවී’ ,  ‘ස්වර්ණවාහිනී’, ‘සියත ටීවී’ ,  ‘ටීවී දෙරණ’ , ‘හිරු ටීවී’ ‘සීඑස්එන්’ ආදී පෞද්ගලික රූපවාහිනී සේවා රැසක් ආරම්භ කරන ලදී.
ඒ අතර ඉලෙක්ට්‍රොටෙක් ග්ලෝබල් නෙට්වර්ක් ආයතනය විසින් 2000 දී ශ්‍රී ලංකාවේ සිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ විසුරුවා හැරෙන ප්‍රථව රූපවාහිනී සේවය ආරම්භ කරන ලදී. එය ‘ටීවී ලංකා’ නම් වූ අතර රත්මලානේ පිහිටි චන්ද්‍රිකා විකාශන මධ්‍යස්ථානයේ සිට මැද පෙරදිග ඇතුළු රටවල් රැසකට විසුඑුවා හරින ලද අතර, එම සේවාව බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව ආදී රටවලට පවා පැහැදිලිව දර්ශනය විය. 
ඒ සමගම කේබල් ටීවී ක්‍රමය ද ජනතාවට හදුන්වා දෙන ලද අතර, චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගෙන විකාශය කරන එම සේවාවන් පාරිභෝගිකයනගේ නිවෙස් වල කුඩා දීසි ඇන්ටෙනාවක් සවිකොට ශ්‍රී ලංකාවේ හා විදේශීය නාලිකා සිය ගණනක් නැරඹීමේ අවස්ථාව ලබා දුනි. ‘ඩයලොග් ටීවී’ සේවය ඉන් ප්‍රමුඛස්ථානයක් ගන්නා ලද අතර, ප්‍රථම සැටලයිට් රූපවාහිනී සේවාව වූ ‘ ටීවී ලංකා’ රූපවාහිනිය ද එම සමාගම විසින් කේබල් ටීවී තාක්ෂණය ඔස්සේ ලොව ජනප්‍රිය නාලිකා රැසක් සමග විකාශය කරයි.
2016 වන විට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මැද පෙරදිග හා යුරෝපය වෙත සජීව විකාශයක් ගෙන එන ‘කලම්බු ටීවී’ නමින් රූපවාහිනී සේවයක් කොළඹ සිට ක්‍රියාත්මක කෙරේ.

No comments:

Post a Comment