අටුව කඩා පුටුව හැදුවා වාගේ
මේ කතාව කියවන්න පටන් ගන්නකොටම ’අටුව‘ යි, ‘පුටුව‘ යි දැනගන්න ඕනෙ නෙව. දුවලා, පුතාලා පුටුව කියන භාණ්ඩය දන්නවා. පුටුව කියන්නෙ අපට පහසුවෙන් වාඩි වෙන්න උපයෝගී කර ගන්නා දෙයක්. හැබැයි ඉතිං පුටුවක් නැති උනත් අපට වෙනින් භාණ්ඩයක් ඒ වෙනුවට පාවිච්චි කරලා වාඩි වෙන්න පුළුවන්. අපි හිතමු තරමක ලොකු පෙට්ටියක්, බංකුවක්, ලී කොටයක් වාගේ බොහෝ දේ උපයෝගී කරගෙන වාඩි වෙන්ට පුළුවනි. හැබැයි අටුව කියලා කියන්නෙ ඊට වඩා අපට ප‍්‍රයෝජනවත් දෙයක්.
අතීතයේ පටන්ම අපේ ගැමි සමාජය පුරුදු වෙලා තිබුනෙ ගොවිතැන් කරලා ජීවත් වෙන්න. ඇතැම් අය වී ගොවිතැන කළා වගේම තවත් අය හේන් ගොවිතැන කළා. වී ගොවිතැන් කළ අය අස්වැන්න කපා පාගාගෙන අවුරුද්ද පුරාවට කෑමට අවශ්‍ය කරන වී ප‍්‍රමාණයක් ප‍්‍රවේසමෙන් අරන් තියලා , ඉතිරිය තමන්ගෙ විය පැහැදම් වලට අවශ්‍ය මිළ මුදල් හොයා ගන්න වෙනත් අයට අලෙවි කළා. තමන්ගෙ කෑමට අයින් කළ කොටස ගෝණි වල, මළු වල දාලා හොදින් ආරක්ෂිතව ‘අටුව‘ ක
තැන්පත් කළා. මේ අටුව කියලා කියන්නෙ ගෙදර ප‍්‍රවේශම් සහිත , වැස්සට නොතෙමී ආරක්ෂා වෙන තැනක තමන්ගෙ හිසට ඉහලින් සකස් කළ මැස්සක් වගේ තැනක් . ඇතැමෙකු තරමක් කුඩා සොල්දරයක් වගේ හදාගෙනත් තිබුනා. හැබැයි මේ අටුව බොහෝ අය හදන්නෙ ගෙදර, මුළුතැන්ගෙයි ලිපට ඉහලින් හදලා තියෙන ‘දුම‘ ටත් උඩින්.
ගෙදරක කුස්සියෙ ලිප කොයි වෙලාවෙත් යන්තමින් හරි රස්නෙන් තමා ඒ කාලෙ තිබුනෙ. ඒ හින්ද ලිපෙන් මතුවෙන රස්නයටත්, දුමටත් ඊට ඉහලින් තියෙන දුමේ තැන්පත් කළ දේවල් ප‍්‍රවේසම් උනා වගේම, ඊටත් ඉහලින් තියෙන අටුවේ තැන්පත් කළ වී, කුරහන්, තල, මෙනේරි, මුං, කවුපී වාගෙ බව බෝග බොහෝම සුරක්ෂිතව ආරක්ෂා වුනා.
ඔන්න දුවේ, පුතේ එක්තරා ගැමියෙකුගෙ තරුණ වයසෙ උන්නු දුවට තරමක් ඈත ගම් පළාතකින් විවාහ යෝජනාවක් ආවා. මනමාලයගෙ දෙමව්පියො , මනමාලිව බලන්න එන්න දින නියම කරගත්තා . මේ ගැමියා කල්පනා කළා තමන්ගෙ ගෙදර අමුත්තෙකුට වාඩිවෙන්න පුටුවක් වත් නැති හන්දා , ගෙදර අටුව කඩලා ඒකෙ තියෙන ලී අරගෙන පුටු කීපයක් හදන්න. මේ මෝඩ ගැමියා තමන්ගෙ අදහස හාමිනේ , ඒ කිවුවෙ බිරිඳත් එක්ක කිව්වා. හාමිනේ මේ කරන්න යන දේට එකහෙළාම විරුද්ධ වුනා.
’‘ ඇයි මනුස්සයෝ.. මොකද්ද ඔය කරන්න යන මෝඩ වැඬේ.. දැන් කුඹුරත් පැහිලා තියෙන වෙලාවෙ අටුව කඩලා හරියනවද... ගොයම් කපා පා ගත්තහම අවුරුද්ද කන්න වී ඩිංග අරන් තියාගන්නෙ කොහොමද.‘‘
’‘ හරි.. හරි.. හාමිනේ අටුව වගේද අපේ දෝණියැන්දැට සූදානං වෙලා තියෙන පෙළවහ.. බෑනව අපි අපේ ගෙදර බින්න බස්සා ගනිමු. එතකොට උන්දැටයි.. මටයි.. ගහක් දෙකක් කපලා අළුතෙන් අටුවයි.. පුටුවයි සේරෝම හදා ගන්ට බැරියැ.‘‘
( බින්න බස්ස ගන්නවා , බින්න බහිනවා කියන්නෙ දුවේ, පුතේ මනමාලිව තමන්ගෙ ගෙදරට කැන්දාන යන්නෙ නැතුව, මනමාලයා තමුන්ගෙ හාමිනේගෙ ගෙදර පදිංචි වෙන එක *
ඉතිං දුවේ , පුතේ හාමිනේගෙ නොකැමැත්තෙන්ම මේ ගොයිරාළ අටුව කඩලා ඒකෙ තිබුනු ලී ටිකයි, ලෑලි ටිකයි අරන් පුටු දෙක තුනක් හදාගත්තා. ඒ වුනාට අර එනවා කියලා තිබුනු දවසට දුවව බලන්න මනමාලයවත්, අම්ම තාත්තවත් ආවෙ නෑ. කොහොමින් කොහොමින් හරි ඒ දීගෙ කටයුතු කෙරුනෙ නෑ. මේ ගොවිරාළගෙ ගෙදර අයට හරිම ලැජ්ජාවක් තමා සිද්ද වුනේ.
ඒ දවස්වලම අස්වැන්න කපාගන්නත් සිද්දවුනා. අවුරුද්ද කන්න වී ගෝනි කීපයක් අරන් තියන්න අටුව නැති හන්දා ඒවා ගෙදර තැන තැන දාලා , ඒවත් නාස්ති වුනා. අන්තිමේදි පුටුවෙන් පළක් වුනෙත් නෑ. හැබැයි සිද්දවුනු දේ ගම, රට පුරාම ආරංචි වුනා. ඉන් පස්සෙ කවුරු හරි කෙනෙක් තමන්ට ඉතාමත්ම අඩු ප‍්‍රයෝජනයක් තියෙන දෙයක් වෙනුවෙන් එයිට වඩා තමන්ට ඉතා ප‍්‍රයෝජනවත් දෙයක් විනාශ කරගන්න අවස්ථාවක් උනාම, මිනිස්සු කියන්න පටන් ගත්තා.. ඒ වැඩෙත් හරියට ‘‘ අටුව කඩලා පුටුව හැදුවා වගේ..‘‘ තමයි, කියලා.
No comments:
Post a Comment