අටුවෙන් දුමට බැස්සා වාගේ

අටුවෙන් දුමට බැස්සා වාගේ


ඔන්න දුවේ පුතේ මේ පිරුළත් අටුවට සම්බන්ධයි. දැන් දුවලා, පුතාලා දන්නව නෙව අටුව කියන්නෙ මොකද්ද.. අටුව පිහිටලා තියෙන්නෙ කොතනද කියලා.  අපේ ගැමියනගේ ජීවිත වල කුස්සියට එහෙම නැත්නම් මුළුතැන්ගෙයට ලැබෙන්නෙ විශේෂ තැනක්. නිවසේ ජීවත්වෙන මිනිසුන්ට පමණක් නෙවෙයි සතා සීපාවට පවා මොනවා හෝ දෙයක් මුළුතැන් ගෙයින් කන්න ලැබෙනවා. ඒක හන්දා මුළුතැන් ගෙයි හැම තැනක්ම පිළිවෙලට, පිරිසිදුව තියෙනවා. සෑම සිංහල අළුත් අවුරුදු නැකතකටම ගොම මැටි ගාලා අළුත් කරගත්තු ලිපට අවුරුද්ද පුරාවටම හැමෝම ගෞරව කළා. ලිප දිනපතා පාන්දර දැල්වුවාම රාත‍්‍රියේ නින්දට යද්දි තමා මුළුමනින්ම නිවලා දාන්නෙ. එතකල් අළු යට තියෙන ගිණි පුපුරු වලින් යන්තමට දුම් දමමින් ,  ඕනෑම හදිසියකදි ඉක්මණින්ම ආයෙත් ගිණි පත්තු කරන්න පුළුවන් විදියට තිබුනා. ලිපට උඩින් දුම් මැස්ස හදලා තිබුනා. ඒකට කිවුවෙ ‘දුම’ කියලා. ඊටත් ඉහලින් ‘අටුව’ හදලා තිබුනා. අටුවෙ තියෙන ධාන්‍ය වර්ග, ආහාර වර්ග උවමනා වුනාම පුටුවක් හරි, උස බංතුවක් හරි තියලා ටිකක් ඉහලට ගොඩවෙන්ට  ඕනෙ. නැත්නම් හරියටම අටුවෙ තියෙන දේවල්  පේන්නෙ නෑ. 

ඔන්න එක ගමක හිටියලූ ඒබරං කියලා මනුස්සයෙක්. මේ මනුස්සයා තරමක් මෝඩයි. ඒ වගේම තමා පොඩි පොඩි වැරදි වැඩත් මේ ඒබරං කරනවා. හැබැයි ඉතිං ඒබරං කාගෙ හරි ගෙදරකට ආවහම ගෙදර මිනිස්සුන්ගෙන් මොනවා හරි ඉල්ලගෙන කාලා බඩ පුරවගෙන තමයි එතැනින් යන්නෙ. එක දවසක් ඒබරං ගමේ ගෙදරකට ගොඩ වෙලා , ගෙදර මනුස්සයො මොනා හරි කන්න දීලා, තේ කහට ටිකක් දෙනකල් ගෙදර මුළුතැන් ගෙයි බංකුවක වාඩි වෙලා උන්නලූ. ඔය අතරතුරේ ගමේ ආරච්චිල වෙනින් ගමනක් යන ගමන් මේ ගෙදරටත් ගොඩ උනාලූ. මුළුතැන්ගෙයි උන්නු ගම මහගෙ ආරච්චිලව දැකලා ඒ බව ඒබරං ට කිවුවා. ඒබරං කලබල වෙලා, 

‘‘අනේ හාමිනේ... ඔය ආරච්චිල එක්නෙ මාව අල්ලගන්නයි.. මං හැංගෙනවා.. මං ඉන්න බවක් නං කීයටවත් කියන්ට එපා...’’ 

කියලා කලබලේම අටුවට නැග ගත්තලූ. දැන් ආරච්චිල ගෙදරට ගොඩ වෙලා ගෙදර ඉස්සරහා ආලින්දයෙ, ඒ කියන්නෙ ඉස්තෝප්පුවෙ හාන්සි පුටුවෙ වාඩි වෙලා ගොවි රාළත් එක්ක කතා කර කර ඉන්නවලූ. ටික වෙලාවක් ගතවෙද්දි ලිපේ දුම් රොටු ‘දුම’ටයි.. ‘අටුව’ටයි වදින්න පටන් ගත්තා.   ඉතින් අටුවට ගොඩ වෙලා ඉන්න ඒබරං  ලිපෙන් මතුවෙන දුම් රොටු හන්දා හුස්ම ගන්නත් බැරුව අමාරුවෙන් හිටියෙ. හැබැයි ඉතින් අටුවෙ ඉන්න ඒබරං ව ආරච්චිල ලිප ළගට ආවත් පේන්නෙ නෑ. මේ මනුස්සයා සෑහෙන වෙලාවක් අටුවට වෙලා හිටියත්, හුස්ම ගන්න අමාරු හන්දා කල්පනා කළාලූ තමුන් ඉන්න තැන දුම් වදිනවා වැඩි හන්දා, පල්ලෙහා තියෙන දුමට බහින්න ඔනැය කියලා. 

දුවලා පුතාලා දැන් දන්නවා නෙව මේ  මනුස්සයා තරමක මෝඩයෙක් කියලා. ඉතින් මොකද කළේ.. අටුවෙ දුම වදිනවා වැඩියි කියලා දුමට බැස්සා. දැන්  අටුවටත් වඩා සැරට එතනට දුම වදින හන්දා දුම ඉවසගන්න බැරුව, හුස්ම ගන්නත් බැරුව මේ මනුස්සයා හයියෙන් කෑ ගසමින් දගලන්න පටන් ගත්තා . ඒ විතරක් නෙවෙයි දුම ඉවසන්න බැරුව දගලනකොට දුමත් කඩා ගෙන බිමට ඇදගෙන වැටුනා.  සද්දෙ ඇහිලා ගෙදර ගම හාමිනේ ලිප ළඟට දුවගෙන ඇවිත් ඇහුවා 

‘‘ ඇයි මොකද ඒබරං සිද්දවුනේ ’’

‘‘ අනේ හාමිනේ... උඩ අටුවට ලිපේ දුම සැරට වදින හන්දා මං දුමෙන් බේරෙන්න කියලා පල්ලෙහා දුමට බැස්සා..’’

‘‘ අනේ ඒබරං.. උඹ වගේ පල් මෝඩයෙක්.. ලිපේ දුම් වලින් බේරෙන්න අටුවෙන් දුමට බහිනවද... අටුවට වඩා සැරට ඒතැනට දුම වදිනවනෙ....’’

‘‘ ඒක නෙව හාමිනේ.. මට ඔය ඩිංග තේරුනේ නෑ නෙව....’’

මේ අතරතුරේදි ඒබරං දුමෙන් බිමට වැටෙන සද්දෙ ඇහිලා ගොවිරාළ යි ආරච්චිලයි දෙන්නත්  ලිප ළගටම දුවගෙන ආවා. ආරච්චිල දුමෙන් වැටිලා කොන්ද අත ගගා උන්නු ඒබරංව දැකලා පුදුම වුනා.

‘‘ උඹව මං හොය හොයා උන්නෙ ඒබරං... උඹ ගමේ ඉඩං දෙකකින් කෙහෙල් කැන් කපාගෙන එහා ගමට විකුණගෙන තියෙනවා. වරෙං යන්ට උඹව දඞුකදේ ගහන්ට...’’

එහෙම කියාගෙන ඒබරං ව අල්ලාගෙන ගියා. 

කිසියම් කෙනෙක් තමන්ට සිද්ද වෙලා තියෙන අමාරුවකින් ගැලවෙන්ට හිතා ගෙන  තමුං ඒ වෙනකොටත් වැටිලා උන්නු අමාරු තැනටත් වඩා තවත් අමාරු දෙයක් කරන්න යනව නම් අන්න ඒ වෙලාවට කියනවා ‘‘ මේ මනුස්සයා අටුවෙන් දුමට බහින්නයි ඔය ලැහැස්ති වෙන්නෙ....’’ කියලා.  

No comments:

Post a Comment